සුගියදා වාර්තාවූ කිරින්ද වෙරළේදී රළ පෑගීමට ගොස් මුහුදට ගසාගෙන ගිය පියා සහ දරු දෙදෙනාගේ මරණ රටම කම්පා කරවන පුවතක් විය. එම අනතුරින් බරපතල තුවාල ලද මවද මේ වනවිට බරපතල
තත්වයෙන් රෝහල් දැඩි සත්කාර ඒකකයේ පසුවන්නීය. සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවන් සැපයූ විස්තර ඇතුළත් වාර්තාවක් පහතින්
"අපි රළ පාගමින් මුහුද දෙසට ගියා. ඒ වෙලාවේ ගොඩ හිටපු හසිනි අක්කා කීවා රළ පහර සැර වැඩියි යන්න එපා කියලා. ඉදික අයියා ගණන් නොගෙනම බය නැතිව අක්කාටත් එන්න කියමින් මුහුදට ගියා. අපි රළ පාගමින් සෙමින් සෙමින් මුහුදට ගියා. ඒ වෙලාව්වෙ ලොකු රළ පහර දෙක තුනක් ආවා. එකවරම ආ රළ පහරට අපි යට කරගෙන ගියා. එවිට ඉන්දික අයියා චූටි බබාගේත් මගෙත් අත් හයියෙන් අල්ලාගෙන හිටියා. ඒ සමග තවත් රළ පහරකට අපේ අත් ඇතැරුණා.
මා දෙතුන්වරක් දිය යටට යමින් උඩට පා වුණා. ඊට පස්සේ චූටි බබාත් ඉන්දික අයියාත් මා දැක්කේ නැ" යැයි රළ පෑගීමට ගොස් මුහුදට ගසාගෙන ගිය පියා සහ දරු දෙදෙනාගේ මරණ පරීක්‍ෂණයේදී එම චාරිකාවට එවූ නුවරඑළිය, දිමුතුගම විජේකෝන් මුදියන්සේලාගේ තිළිණී විජේකෝන් මෙනෙවිය පැවසුවාය.
මෙම සිද්ධියෙන් මියගොස් සිටියේ නැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ නුවන් ඉන්දික විජේසූරිය (39), නසන්ටා සහන්දි විජේසුරිය (6) සහ නදිලා ඉනෝමි විජේසුරිය (4) යන තිදෙනාය.
පියාගේ සහ දරු දෙදෙනාගේ මරණ පරීක්‍ෂණය තිස්සමහාරාම හදිසි මරණ පරීක කේ.ටී.ඩී. නෙරන්ජන් මහතා සිදු කළේය.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවක පිරිසක් තිස්සමහාරාම යාල ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ කිරිද මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් මෙම තිදෙනා මියගිය අතර ඔවුන් සමග මුහුදේ ගසාගෙන යද්දී බේරාගත් මියගිය දරුවාගේ මව අසාධ්‍ය තත්වයෙන් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබයි.
මරණ පරික්‍ෂණයේදී සාක්කි දුන් තිළිණි විජේකෝන් මෙනෙව්ය මෙසේද කීවාය.

"බැංකුවේ වැඩ කරන පිරිසක් සමග ඒ අයගේ පවුල්වල අයත් එක 21 වැනි උදේ අපි විනෝද චාරිකාවක් ආවා. අපි කෙළින්ම ආවේ යාලෙ හෝටලයට. එහි කාමර අරගෙන අපි නතර වී සිටියා.

23 උදේ අපි ආපහු නුවරඑළිය යන්න හිටියේ. 23 උදේම අපි නැගිටලා හිටියෙ. හසිනි අක්කත්, ඉන්දික අයියත්, දරු දෙදෙනා සමග රළ පාගන්න මුහුද පැත්තට ගිහිල්ලා හිටියා. ටික වෙලාවකට පස්සේ හසිනි අක්කා මට කෝල් එකක් දීලා කිවා අපි මුහුද රළ පාගමින් ඉන්නව ඔවුන් ඉන්න තැනට මටත් එන්න කියලා. උදේ 7.30 ට විතර මමත් හෝටලයේ ඉඳල අක්කල ඉන්න තැනට ආවා. එවිට මම දැක්කා ඉදික අයියා චූටි බබත් එක්ක වෙරළ රැල්ල එන හරිය රළ පාගමින් ඉන්නවා. හසිනි අක්කා ලොකු බට්ටා එක්ක වෙරළෙ සිප්පිකටු අහුලමින් ඉන්නව දැක්කා. මමත් එතැනට ගියා. ඒ වෙලාවෙ රැල්ල ගොඩ එන හරියෙ ඉන්දික අයියා චූටි බබා එක්ක රැල්ල පාගමින් හිටියා. ටික වෙලාවකට පස්සේ මමත්, හසිනි අක්කත් ලොකු බබාත් එක්ක ඉන්දික අයියා හිටපු තැනට ගියා. ඉන්දික අයියා දරු දෙදෙනාත් අක්කාත් රැල්ල පාගත හැටි දුරකතනයෙන් වීඩියෝ කරමින් හිටියා. මමත් මේ දේවල් බලබලා රැල්ල පාගමින් විනෝදවෙමින් හිටියා. ඒ අතරතුර ඉන්දික අයියාත්, මමත් චූටි බබා මැදි කරගෙන අත් අල්ලගෙන රළ පාගමින් ටික ටික ඉදිරියට ගියා. ඒ වෙලාවෙ
ගොඩ
හිටපු හසිනි අක්කා කිව්වා දැන් රළ පහර වැඩී තවත් ඉස්සරහට යන්න එපා කියලා. එවිට අයියා අක්කට කතා කරල කිව්වා ඔයත් බය නැතුව මුහුදට බැහැල අපි ඉන්න තැනට එන්න කියලා. අපි රළ පාගමින් ටික ටික ඉදිරියට ගියා. එක්වරම ලොකුවට රළ පහර කිහිපයක් ආවා. එක රළ පහරකට අපි තුන්දෙනාම යට වුණා. ඒ අවස්ථාවේ අයියා චූටි බබත් මමත් හයියෙන් අත් අල්ලගෙන හිටියා. ඒත් ආපු රළ පහරට අපි වෙන්වුණා. ඒ
වෙලාවේ කිහිපවරක් මම වතුර යට යමින් උඩට ආවා. වේගයෙන් ආපු රළ පහරකට මම ගොඩ පැත්තට ගසාගෙන ආවා. ඒ වෙලාවෙ මගේ කකුල් බිම වැදුනා. මම ගොඩට දුවගෙන ආවා. ඒ වෙලාවෙ හසිනි අක්කත්, අයියත් බබාල දෙන්නත් ඉන්නව මම දැක්කෙ නැහැ. ඔවුන් නොයන අපි සමග ආපු
ගයන්ත අයියා මුහුදට පනිනව මම දැක්කා. මම හෝටලයට දුවල ගිහිල්ලා එතැන හිටපු අයට කෑගහල කිව්වා අක්කල මුහුදෙ ගහගෙන ගිය බව. එවිට හෝටලයේ හිටපු කිහිප දෙනෙකු මුහුද දෙසට දුවගෙන ආවා. ඊට පසු සිදුවූ කිසි දෙයක් මට මතක නැහැ. පසේ චූටි බබා ගොඩට ගෙනැල්ලා . හුස්ම දෙනව වගේ දැක්කා. ඉන්දික. අයියත් බබාල දෙන්නත් මියගොස් ඇති බව මට දැන ගන්නට ලැබුණා. ඔවුන් මිය ගියේ කිරිදෙ මුහුදෙ වැටී දියේ ගිලීමෙන් බවට මම විශ්වාසයි. මේ මරණ පිළිබඳ මට කිසිම සැකයක් නැහැ".
මරණකරුගේ සහෝදරයා වන දිලාන් චානක විජේසූරිය (36) සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.

"මියගොස් සිටින අයියා හැටන් නගරයේ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිය නුවරඑළිය පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිනියක හැටියට කටයුතු කරනවා. බැංකු සේවක පිරිස සමග අයියත්, අක්කත්, දරු දෙදෙනාත් සුබසාධක චාරිකාවකට තවත් පිරිසක් සමග තිස්සමහාරාම යාලට ඇවිත් තියෙනවා. ඔවුන්ගේ මේ ගමන ගැන මම කලින් දැනගෙන හිටියෙ නැහැ. 23 වැනිදා මම නල්ලතන්නියෙ ටෙලිකොම් එකේ වැඩිකව වාහනෙන් ඇවිත් හිටියා. උදේ 10.30 ට විතර මගේ ඥාති අයියා කෙනෙක් කෝල් කරලා කිව්වා ඔයාගෙ අයියා ට්‍රිප් එකක් ගිහිල්ලා අනතුරක් වෙලා ඉක්මනින් හැටන් එකට එන්න කියලා. පසුව මම දැනගත්තා අයියා ඇතුළු පිරිසට කිරින්ද මුහුදේදී අනතුරක් සිදුවී ඇති බව. එදා මම හවස 5.30 ට විතර තිස්සමහාරාමට ආවා. එහිදී මට දැනගන්න ලැබුණා, අයියත්, දරු දෙදෙනාත් කිරින්ද මුහුදේ රළ පාගන්න ගිහිල්ලා මුහුදේ ගිලී මියගොස් ඇති බව. මේ මරණය පිළිබඳව මට කිසිම සැකයක් අවිශ්වාසයක් නැහැ".

මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය තිස්සමහාරාම දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ටී.ඩබ්ලිව්. අජිත් කුමාර මහතා විසින් පවත්වනු ලැබූ අතර ඔහුගේ නිගමනය වූයේ මෙම මරණ තුනම මුහුදේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවටයි.
වෛද්‍ය වාර්තතාව හා ලැබී ඇති සාක්‍ෂි සැලකිල්ලට ගෙන මෙම තිදෙනාගේම මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයන් බව්වට මරණ පරීක්‍ෂක කේ.ටී.සී. නෙරංජන් මහතා තීරණය කළේය. පොලිස් පරික්‍ෂණ කිරින්ද පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් (63547) ඇනින්, තිස්සමහාරාම පොලිස් කොස්තාපල් (754) ජයරත්න යන මහත්වරු මෙහෙයවූහ.
තිස්සමහාරාම රංජිත් එස්. ඩයමන්