කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටුවට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව මඟින් යොදා තිබූ ඉබි
යතුරු කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අදාළ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන මේ දක්වා විමර්ශන කටයුතු සිදුකරන අතර එහි ප්‍රධාන ‍දොරටුව ඉබි යතුරු දමා වසා දැමිමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

තඹ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ඉකුත් 9 වැනිදා ලද පණිවුඩයක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට ප්‍රධාන ගේට්ටුවට යොදා තිබූ ඉබි යතුරු කඩා බිම දමා තිබෙන අයුරු දක්නට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නුගේගොඩ දිස්ත්‍රික් දෙක භාර සහකාර පොලිස් අධිකාරි විදුර ජයසිංහ මහතාද එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූ බව පොලිසිය කියයි.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව තඹ කමාන්ත ශාලාවේ සේවකයන් දස දෙනකු පමණ අත්අඩංගුවට ගෙන සිටියදී කිසියම් පිරිසක් රාත්‍රි කාලයේ කර්මාන්ත ශාලාව තුළට ගොස් තඹ කම්බි රෝල් තොගයක්ද සොරා ගෙන තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. වැල්ලම්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

-එම්.සී.පෙරේරා-