සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමය පෙරේදා (12) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත්තේ මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරන අගතිගාමී සත්‍යතාව තහවුරු කර
නොගත් තොරතුරු මගින් සිදු වන්නේ මෙම නොසන්සුන්කාරි තත්ත්වය වර්ධනය වීම පමණක් බවයි.

සියලු ප්‍රජාවන් අතර සාමකාමී යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය ලබා දෙන බවද යුරෝපා සංගමය පවසයි. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාලද එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේද එකගතාව
මත මෙම නිවේදනය නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ය.


-ෆර්හාන් නිසාම්දින්-