රටේ සිදුවන අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යනාදි ආයතන විසින් පරීක්ෂණ පවත්වා අවසානයේ ඉදිරිපත් කරනු ලබන වාර්තාවට නීති
උපදෙස් දීමේ මෙතෙක් පැවැති සම්ප්‍රදායෙන් මිදී එම පරික්ෂණ ආරම්භයේ සිටම තම නිරික්ෂණය යටතේ ඒවා සිදුකිරීමට වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ප්‍රවේගාත්මක පියවරක් ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (18දා) "පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය"ට අදාළ පරික්ෂණ වහා කඩිනම් කරන ලෙසට අදාළ අංශ වෙත ලිඛිතවම දැනුන්දුන් අතර එම දැනුම්දීම් පිළිබඳව ජනාධිපති ලේකම්, වැඩබලන පොලිස්පති ආදීන්ටද පිටපත් යොමු කොට ඇත.

නව වැඩපිළිවෙළෙහි ප්‍රථම පියවර වශයෙන් පාස්කු ඉරිදා (අප්‍රේල් 21දා) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව
'ජාතික කවිහිදී ජමාත්' නමැති අන්තවාදී ත්‍රස්ත සංවිධානය හා එහි සියලුම සාමාජිකයන් (මියගිය අයද ඇතුළුව) සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්වත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් විමර්ශන කඩිනමින් පවත්වාගෙන යන ලෙසටත් නිරන්තරවම එම පරික්ෂණයන්හි ප්‍රගතිය තමා වෙත වාර්තා කරන ලෙසත් අදාළ අංශ වෙත ඊයේ (18දා) ලිඛිතව දැනුම් දෙනු ලැබීය.

තවද මෙතෙක් සිදුකොට ඇති විමර්ශනවල ප්‍රගතිය අදම දැනුම් දෙන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාටත් අදාළ අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානීන්ටත් දැනුම් දෙනු ලැබීය.

මීටත් අමතරව එකී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනමට ලක්කොට ඇති ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් (JMI) හා විලයාත් අස් සෙයිලානි යන සංවිධාන හා එකී ක්‍රියාකාරකම් පිළිබඳවත් එකී සංවිධානයන්හි
සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳවත් වහා විමර්ශන ආරම්භ කරන ලෙසද තවත් ලිපියකින් අදාළ බලධාරින්ට නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇති බවද ඒවායෙහි පිටපත් ජනාධිපති
ලේකම්, වැඩබලන පොලිස්පති, අදාළ අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමු කළ බවද නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය  ප්‍රකාශ කළාය.