අක්කරපත්තුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවකුගේ අත බැඳී පවුම් තුනක් වටිනා අත් පළඳනාවක් සොරාගත් සිද්ධියක් සම්බන්ධව සැකපිට කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව අක්කරපත්තුව පොලිසිය පවසයි.

මෙම ළමයා තම මවගේ රැකවරණය
යටතේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමීන් සිට ඇති බව පොලිසිය කියයි.  එම වාට්ටුවේ ලෙඩකු බලාගෙන සිටි කාන්තාවක් මවට සහ දරුවාට නින්ද
ගොස් සිටියදි ළමයාගේ අත් පළඳනා රාත්‍රී කාලයේ ගලවාගෙන එය රුපියල් සියයේ මුදල් නෝට්ටුවක ඔතා පසුදා උදේ රෝහලට පැමිණ තම පුත්‍රයාට දී ඇති බව පරික්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව පොලිසිය කියයි.

තම මවගේ උපදෙස් මත රෝහල ඉදිරිපිට ඇති තේ කඩයක නානකාමරයක් අසල මේය සඟවා ඇති බව පොලිසිය පවසයි. සැකකාර කාන්තාව කුඩා දරුවාගේ අත් පළඳනාව ගලවා ගන්නා ආකාරය එහි සිටි තරුණියක් දැක ඇති අතර ඇය ඒ බව දරුවාගේ මවට පැවැසීමෙන් පසුව පොලිසියට ලැබුණ පැමිණිල්ලට අදාළව පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව සහ සොරකමට අනුබල දුන් ඇගේ පුත්‍රයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම දෙදෙනා නඩු භාණ්ඩ සමහ "බී" පත්‍රිකාවක් මිඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.