වසර හතළිස් අට දහසකට (48,000) පෙර මෙරට ජීවත් වූ මානවයන් සහල් පරිභෝජනය කර ඇති බවට සාක්ෂි රැසක් පාහියන්ගල ලෙන ආශ්‍රිතව සිදු කළ පරික්ෂණයකින් අනාවරණය වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක මහතා පැවසීය.

ඉන්දියාවේ පුන්‍යවිරි

විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍යයේ ලෙවර්ෆුල් විශ්වවිද්‍යාලය සමග වසර 10කට අධික කාලයක් පුරා සිදු කළ පුළුල් පරික්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ. මෙය මෙරට කෘෂිකර්මාන්තය සහ මානව ජනාවාසකරණය පිළිබදව අනභිභවනීය සොයා ගැනීමක් බවද ඒ මහතා සදහන් කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් මෙම වැඩසටහන දියත් කර ඇති අතර එහිදී එම භූමියේ පස් තට්ටු තුළ පැරණි බෝග වර්ග භාවිත කිරීමේ සාක්ෂි රාශියක් හමු වී තිබේ. එසේ හමු වූ සාධක අතර පැරණි වී වර්ග භාවිත කර ඇති බවටද සාක්ෂි හමුව තිබේ.

වල් වී වර්ග එලෙස එදා ජීවත් වූ ජනතාව භාවිත කර ඇති අතර එම  වී වර්ග භාවිත කර ඇති ස්වභාවය  පිළිබදව මෙතෙක් පැහැදිලි  තොරතුරක් අනාවරණය කරගෙන නොමැත. වල් වී වර්ග චීනයේ සහ ඉන්දියාවේ භාවිත කර ඇත්තේ අවුරුදු 15,000 – 20,000 පෙර බවද ප්‍රේමතිලක මහතා සදහන් කළේය.

-සුමන උදයන්ත-