නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසල ඊයේ (12) සිල් සමාදන් වි සිටි එම ප්‍රදේශයේ පෙරපාසලක කුඩා දරුවන් පිරිසක් මත එම බෝධියේ අන්තක් කඩා වැටීමෙන් දරුවෝ 15 දෙනක් තුවාල ලැබූහ.

මෙම අනතුර සිදු වී ඇත්තේ
පෙරවරු 9.00ට පමණයි.  තුවාල ලැබූ දරුවන් අතුරින් බරපතළ තත්වයක පත්වූ තිදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. අත්වලට, හිසට සහ ගෙලට තුවාල සිදු වී ඇතැයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.

තුවාල ලැබූ අනෙක් දරුවන් නාරම්මල දිසා රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගෙන් කීපදෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගොස් ඇත.

බෝධියේ අත්ත කඩා වැටුණු අවස්ථාවේදී දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ මවුවරු දෙදෙනෙක් ද සුළු තුවාල ලබා සිටිති.

වසර සියයක් පමණ පැරැණි යැයි කියන බෝධින්වහන්සේ අසල දරුවන් ශීල ව්‍යාපාරයේ යෙදී ඇත්තේ පාසල් පාලිකාව, මවුපියන් ද සමගය. මෙම බෝධිය පිහිටා ඇත්තේ පෙරපාසල් සිට මීටර් 200ක් පමණ කිට්ටුවෙනි.

(පුෂ්පකුමාර ජයරත්න)