වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය  මතට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළ එම දරුවාගේ මව අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා ඊයේ (21දා) ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට  ඇතුළත් කරන ලදී.

වීරකැටිය රාපක්ෂ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින සන්ධ්‍යා කුමාරී ලියනආරච්චි නමැත්තියක මෙසේ රෝහල් ගත කිරීමට පියවර ගැණිනි.

සිය දරුවා 2019 වර්ෂයේ පළමු  ශ්‍රේණියට අයදුම් කළද මෙතෙක් එම විද්‍යාලයට ඇතුළත් කිරීමට පියවර නොගැනීම නිසා පෙරේදා(21) අලුයම ඇය
විසින් මෙම උපවාසය ආරම්භ කරන ලදී.

දරුවාගේ මව උපවාසයේ නිරත වෙමින් සිටින අතරතුර කුඩා දරුවා පාසල් ඇඳුමින් සැරසී විද්‍යාලය ඉදිරිපිට ඔහුගේ මිත්තණිය සමග සිටියේය.  පෙරේදා රාත්‍රී කාලයේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව මධ්‍යයේද උපවාසයේ නිරත වූ කාත්තාව වහළය මතට නැග උපවාසය අත්නොහැර සිට අතර ඇය ඊයේ අසාධ්‍ය තත්වයේ පසුවිණි.

මේ හේතුවෙන් සුවිසැරිය ගිලන් රථයකින් ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු ක්‍රියාකළහ.  මේ සම්බන්ධයෙන් වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
චන්න වීරසේකර මහතාගෙන් කළ විමසීමේදී  ඔහු පවසා සිටියේ සානුකම්පිතව  සළකා බලා දරුවා පාසලට ඇතුළත් කරගන්නා ලෙස පළාත් අධ්‍යපන ලේකම්වරයාගෙන් ලිපියක් රැගෙන ආවොත් දරුවා පාසලට ඇතුළත් කර ගත හැකි බවද චක්‍රලේඛවලට අනුව දරුවා ඇතුළත් කර ගැනීමට ලකුණු ප්‍රමාණවත් නොවන බවද පවසා සිටියේය.

 අනීෂා මානගේ