සමාජ මාධ්‍ය වාරණය තුළින් රජය බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ඒ පිළිබඳව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් රත්නායක මහතා පවසයි. රජය සමාජ ජාලා වාරණයකට ලක් කළත් මේ කාලය තුළදී  සියයට 58ක් පමණ වී.පී.එන්. තක්ෂණය ඔස්සේ
සමාජ මාධ්‍ය ජාලාවලට එක් වූ බවයි. නමුත් සමීක්ෂණයට භාජනය වූ අයගෙන් සියයට 95ක්ම වී.පී.එන්. තාක්ෂණය පිළිබදව නිසි තොරතුරු නොදැන ඊට එක්ව සිටි බවට තොරතුරු හෙළි වූ බවත් ඇතැම් පිරිසක් වී.පී.එන්. තාක්ෂණය තම ජංගම දුරකතනවලට බාගත කිරීම සදහා දුරකතන අලෙවි මධ්‍යස්ථානවලට රුපියල් 100ක්
වැනි මුදලක් ගෙවා තිබූ බවද සදහන් කළේය. සමීක්ෂණය පිළිබදව තවදුරටත් අදහස් දැක්වු පැතුම් රත්නායක මහතා මෙසේද පැවසීය.

“අප සිදුකළ සමීක්ෂණයේදී සියයට 58ක් දෙනා පවසා සිටියේ තමන් සමාජ මාධ්‍ය වාරන කාලය තුළදීද වී.පී.එන්. භාවිත කොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසුණ බවයි. මෙහිදී සියයට 9ක් දෙනා තම මතය සහ භාවිතය පිළිබද අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා, මෙහි සුවිශේෂම කාරණයක් වූයේ සමීක්ෂණයට භාජනය කළ අයගෙන් සියයට 95ක ප්‍රතිශතයක් වී.පී.එන්. යන්න හෝ එහි ක්‍රියාකාරිත්වය ගැන නිසි අවබෝධයක් නොමැතිව එය භාවිත කළ බවයි.

තවද, සියයට 43ක් සමාජ මාධ්‍ය වාරණය අසාර්ථක ප්‍රයත්නයක් බවත්, සියයට 29ක් දෙනා තම එදිනෙදා සන්නිවේදන කටයුතුවලට බාධා ඇතිවුණ බවත්, සියයට 37ක් දෙනා මෙයට දැඩි සේ එරෙහි වන බවත් සඳහන් කළා. ඇතැම්  උපකාරක පංති ගුරුවරුන් තම විෂය කරුණු ඉගැන්වීම වෙනුවට සිසුන්ට වී.පී.එන්. සහ එවා ස්ථාපිත කරගන්නා ආකාරය උගන්වා තිබෙනවා.”

-රසුල දිල්හාර ගමගේ-