පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එකතුවී මේ දිනවල සිදුකරන මෙහෙයුම්වලදී සොයා ගන්නා කඩු හා පිහිවල දර්ශන පෙන්විමෙන් වැළකෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලබාදෙන පුවත් පමණක් පළකරන ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා මාධ්‍ය ආයතනවලට ඊයේ (09) උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවීමකදිය.  නිතර නිතර කඩු පෙන්වීමෙන් දරුවන් පාසල් යැවීමට දෙමාපියන් බිය වන බැවින් මෙවැනි දර්ශන පෙන්වීම වැළැක්විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට
උපදෙස් ලැබී ඇතැයි නාලක  කලුවැව මහතා එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා රට පුරා සිදුකරන මෙහෙයුම්වල දි සත්‍ය වශයෙන් නීති විරෝධි වැඩ කළ අය මෙන්ම එසේ නොවත අයත් සැකපිට අත්අඩංගුවට ගනු ලබන අතර ඒවාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබීම වළක්වා ගැනීම පිණිස මෙහෙයුම් පිළිබඳ වාර්තාකරණයට සීමා පැනවීමට සිදුවී ඇතැයි කීය.

ඇතැම් විට සැකකරුවන්ගේ ගෞරවයට හානිකරන ආකාරයෙන් දර්ශන රූගත වන අතර සත්‍ය වශයෙන් නීති විරෝධී නොවන දේවල් පවා නීති විරෝධි  ලෙස හුවා දැක්වෙන බැවින් මෙම සිදුවීම්වලින් පසුව නීතිමය ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැකි බවද ඒ සියල්ල වළක්වා ගැනීමේ අදහසින් ආරකෂක මෙහයුම් වාර්තාකරණයට මාධ්‍යවේදින් සම්බන්ධ කර නොගන්නා ලෙස සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතැයි ගුණස්කර මහතා පැවසීය.