පාවිච්චි කරන ලද වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවය ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දිවුරුම් ප්‍රකාශ මත
පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

මේ අතර එක් දින සේවය යටතේ අස්ථානගත වූ රියදුරු බලපත්‍ර ලබා ගැනීම ද, තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, යම් රියැදුරු බලපත්‍රයක් අස්ථානගත වූ බවට කරන ලද පොලිස් පැමිණිල්ල සහ ඊට අදාළ අනෙකුත් ලිපි ගොනු ඉදිරිපත් කිරිමෙන් පසු පැමිණිල්ල සම්බන්ධයෙන් යළි සනාථ කිරීමක් සිදුකරන බවයි.

එම කටයුතුවලින් පසු පමණක් අස්ථානගත වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ , උද්ගතව ඇති ආරක්ෂක වතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

රියැදුරු බලපත්‍රය අස්ථානගත වූ විටෙක පොලීසියට කරන ලද පැමිණිල්ල සැලකිල්ලට ගනිමින් ද මීට පෙර බලපත්‍ර නිකුත් කිරීමට සිදු කෙරිණ.