පමුණුවිල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක පෙදරේරුවන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඊයේ (23දා) අලුයම නිදා සිටි පෙදරේරුවකුගේ ගෙල පිහියකින් කපා මරා දමා තිබේ. මේ සිද්ධියෙන් මරුමුවට පත්වී තිබෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පෙදරේරුවකු වූ රෝහණ විජේවීර නමැති
42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතුවල නිරත වී සිටින පෙදරේරුවන් එහිම නැවතී සිටින අතර එම ගොඩනැඟිලි අයිතිකරුගේ උපන් දිනය නිමිත්තෙන් ඔවුන්ට මත්පැන් බෝතලයක් ගෙනැවිත් දී ඇත.

එය පානය කිරීමෙන් පසුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු නිදා සිටි පෙදරේරුවකුගේ ගෙල කපා මෙසේ මරා දමා තිබිණි. මේ අතර මහර අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරශ්න මහතා ඊයේ (23දා) සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කොට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහ රෝහලට යවන ලෙසට පොලිසිය නියෝග කරන ලදී. මේ සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යනු ලැබේ.

-කේ.දුමින්ද-