ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ
සිදු කරන ලද මෙහෙයුමකදි මෙම පුහුණු කඳවුරක් ලෙස සකස් කළ මෙම නිවස සොයා ගැනිම සමත්වි තිබෙනවා.

සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශ හොදින් නිරීක්ෂණය කිරිමට හැකියාව තිබෙනවා.

අවට ගම්වැසියන් නොමඟ යැවිම සදහා මෙම ස්ථානය ගොවිපලක් පවත්වා ගෙන යන ලෙසට සකස් කර තිබෙනවා. සහරාන් ගේ සහෝදරයා වන රිල්වාන් ගේ අතේ ඇඟිලි සහ ඇසක් තුවාල වි ඇත්තේ මෙම ස්ථානයේ බෝම්බයක් හදන විට පුපුරා යෑමෙන් බව ආරක්ෂක අංශ විශ්වාස කරනවා.

මෙම ස්ථානයේ තිබි බෝම්බ සකස් කිරිමට ගත් එස්ලොන් බට තුනක් ද සොයා ගැනිමට හැකි වී ඇති අතර , තාප්ප පිපිරවිමට මෙම එස්ලොන් බට යොදා බෝම්බ සකස් කරන බවද ආරක්ෂක අංශ සදහන් කළා.

පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂිත වැටක් අසළ තිබි මෙවැනි බෝම්බයක් හමුවී තිබෙනවා.

මෙම ඉඩමේ සිටි පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.