විවාදයට තුඩු දී තිබෙන මඩකලපුව ශාරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (08) කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණියන්ගේ හමුව අමතමිනි.
මඩකලපුව විශ්ව විද්‍යාලයේ විෂය මාලා පිළිබඳ තීරණයක්
ගැනීමට නියමිත බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එම ආයතනය පෞද්ගලික ආයතනයක් ලෙස ලියාපදිංචිව සිටින අතර උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අනුමැතිය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපනය සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබුණද එමඟින් එම ආයතනය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අනුමැතිය දී නැත.

කෙසේවෙතත් අද දින කල්මුණේ,සයින්දමර්දු නිරීක්ෂණ චාරිකාවට එක් වූ ජනාධිපතිවරයා එම ජනතාව හමුවේ අවධාරණය කරන්නේ එම ආයතනය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදයට විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරන අතර කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණයට ද එක් වී ඇත.