පොළොන්නරුව, ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාසයකට පමණ පෙර නිවසින් අතුරුදන් වූ බව කියන අවිවාහක ඇඟලුම් සේවිකාවකගේ සිරුරේ කොටස් ඊයේ (12) දහවල් පොළොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේ පිහිටි වෙල් යායකින් සොයාගත් බව පුලස්තිපුර පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොළොන්නරුව, පුලස්තිපුර, බී.ඕ.පී 317 අංක O3 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එල්.එම්.ඒ.පී අයේෂා කෞෂල්‍යා (23) නමැත්තියකි.  ඇය පොළොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇගලුම් නිෂ්පාදන කම්හලක සේවය කර ඇති බවත් ඇගේ පෙම්වතාද එහිම සේවය කළ විවාහක පුද්ගලයකු බවද හෙළිවී ඇත.

මේ තරුණිය 2019.04.10 දා දින සිට නිවෙසින් අතුරුදන්ව ඇති බවට ඇගේ පියා විසින් පුලස්තිපුර පොලීසියට 2019.04.12 දා පැමිණිලි කර තිබේ,  ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය තරුණියගේ පෙම්වතා බව කියන පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තරුණියගේ ඝාතනය තමන් විසින් සිදු කළ බවට පොලීසියට පාපොච්චාරණය කර ඇත.

 තම පෙම්වතිය මරා පුලුස්සා දැමූ ස්ථානය සැකකරු විසින් පෙන්වීමෙන් අනතුරුව ඒ සිරුරේ අස්ථි කැබැලි ඇතුළු අවශේෂ ඊයේ (12) දිනයේ සොයා ගැනීමට හැකිවූ බව විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීහු පැවසූහ.ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිර්ගමින් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ඊයේ (12) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.