කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළේ  පෙම් යුවළක් පෙම් සුව විඳිමින් සිටියදී පැමිණ පෙම්වතියගේ මාලය කඩාගෙන  ගිය බව කියන සැකකරුවකු ඊට දින  තුනකට පසු පෙම්වතා විසින් හඳුනාගෙන

පොලිසියට දැන්විමෙන් පසු දකුණු 
කළුතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතිය සමග ඉකුත් 24 වැනිදා තමා වෙරළේ සිටියදී දෙදෙනකු පැමිණ දෙදෙනා දෙපසට ඇදගෙන ගිය බවත් පසුව පෙම්වතිය පැලඳ සිටි රන් මාලය කඩාගෙන පලා ගිය බවත් පෙම්වතා පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මින් එක් සැකකරුවකු පෙරේදා (27) කළුතර කටුකුරුන්ද අයිලප්පෙරුම හන්දියේ සිටිනවා දුටු පෙම්වතා ඒ පිළිබඳව දකුණු කළුතර පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරින් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලකන ලද රන් මාලය පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)