අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනවාට මේ වනවිට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිවුදෙනකු තීරණය
කර ඇති බවත් ලබන මස 06දා,
07දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවිය යුතු බවට යෝජනාවක් තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා  ප්‍රකාශ කළේය.

ලබන මස 06දා, 07දා මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේ සහාය විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ගත හැකි වෙතැයි කියා තමා අපේක්ෂා කරන බවත් නිර්මලනාදන් මන්ත්‍රිවරයා සඳහන් කරයි. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් ගත්තද තමා අනිවාර්යයෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබාදෙන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තව්හිද් ජමාත් සංවිධානය සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු කළ හැකි සාක්ෂි සහිත තොරතුරු රැසක් මන්නාරමේ දෙමළ ජාතික සන්ධානයේ දිස්ත්‍රික් කමිටුව වෙත ලැබි තිබෙන බවද නිර්මලනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-