සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. පෙරේදා (7) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය
රැස්වූ අවස්ථාවේ ඉදිකිරීම්
හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස  අනුමැතිය හිමි විය. ගුණාත්මකු සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙස "මතින් තොර රටක්" ගොඩනැගීම සදහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේදී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරිම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යාම සදහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මගින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවට පත් වන බවද මෙහිදී සැලකිල්ලට ගැනිණි.


-තියේෂා ද සිල්වා-