අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇති බව, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම් පවසයි.

එම කණ්ඩායම් උපුටා දක්වමින්,
ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, ජාතීන් අතර අසමගිය වර්ධනය වන අකාරයට සහ අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ ෆෙස්බුක් ගිණුම් සහ ෆේස්බුක් පිටු 360කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එම ගිණුම් අතුරින් කිහිපයක්, තහනමට ලක්කර ඇති ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සමාජිකයින්ට අයත් ඒවා බවට ද, මේ වන විට අනාවරණය වී ඇතැයි, එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජය තුළ වැරදි මත පතුරවමින් ක්‍රියාකරන පුද්ගලයින් සහ සංවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැය 24 පුරා නිරීක්ෂණ වැඩපිළිවලක් ක්‍රියාත්මක බවයි.

එවැනි ගිණුම් අත්හිටුවා, ඒවා පවත්වාගෙන යන්නන් නීතියේ රැහැනට ගෙන ඒමට පියවර ගෙන ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.