පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පවුල්  344ක් විපතට පත්වී ඇති බව රජය පවසයි.  මෙයින් පවුල් 156 ක එක් අයකු හෝ ඊට  වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වී ඇති අතර තවත් පවුල් 138ක එක් අයෙකු හෝ ඊට වැඩි
පිරිසක් තුවාල ලබා ඇති බව
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ වාර්තාවක දැක්වේ.

මෙම පවුල්වල සාමාජිකයන් සමාජ, ආර්ථික, සංස්කෘතිත, අධ්‍යාපනික හා අධ්‍යාත්මික වශයෙන් සවිබලගැන්වීමේ වැඩපිළිවෙළක් කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක්  වන ''සෙත් සරණ" ආයතනයේ සම්බන්ධීකරණය ද සහිතව නාගරික ජනාවාස අධිකාරියේ ද සහායෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.  ඒ අනුව ''ස්ව ශක්ති'' නම් විශේෂ මානව සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

(ඩයනා උදයංගනී)