චීනය විසින් මෙරට පොලිස් ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහයක් ලෙස පොලිස් ආරක්ෂක රථ 10ක් ශ්‍රී ලංකා රජයට ලබාදී තිබේ.



එම පොලිස් ආරක්ෂක රථ භාර දීමේ උත්සවය පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැති එම උත්සවයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයි යුවාන් මහතා එහිදී අදාළ ආරක්ෂක රථවල යතුර සංඛේතාත්මකව ජනාධිපතිවරයාට බාර දුන්නේය.


ඉන් පසු චෙන්ග් ෂුයි යුවාන් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ආරක්ෂක රථ නිරික්ෂණ කිරීම ද සිදුකර තිබේ.

හදිසි අවස්ථාවලදී චීනය සැම විට ම ශ්‍රී ලංකාවට සහය ලබා දීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී චීනයට ස්තූතිය පළ පලකර ඇත.

අදාළ රථ මගින් ශ්‍රී ලංකාවේ පොලිස් නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කර ත්‍රස්ත මර්දන මෙහෙයුම් වලට සහය ලබා දෙමින් සමාජ ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි බවද එහිදී ජනපතිවරයා සඳහන් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයි යුවාන් මහතා ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ සිටින චීනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක ස්ථාවරත්වය හා සංවර්ධනය සුරක්ෂිත කිරීමට ස්ථිර ලෙස අනුබල දෙන බව පවසා ඇත.

අදාළ රථ දෙරට අතර ප්‍රයෝගික සහයෝගතාව තහවුරු කරමින් දෙරට හා ජනතාවට පොදු ජයග්‍රහණ ලබා ගත හැකි බවට තමා අපේක්ෂා කරන බවද ඔහු එහිදී පවසා තිබේ.

ඊට අමතරව, මෑත වසර කිහිපය තුළ චීන-ශ්‍රී ලංකා ක්‍රමෝපායීය හවුල්කාරී සහයෝගිතාවේ වැදගත් කරුණු ලෙස දෙරටේ නීතිය බලාත්මක කිරීමේ සහයෝගතාව මනා ලෙස වර්ධනය වී ඇති බවද පෙන්වා දී තිබේ.

නඩු විමර්ෂනය කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, අපරාධකරුවන් තම රටට භාර දීම සහ නීතිය බලාත්මක කිරීම යන ක්ෂේත්‍රවල දෙරට අන්‍යෝන්‍ය සහය ලබා දෙමින් යහපත් ප්‍රතිඵල ලබාගෙන ඇතැයි ද චෙන්ග් ෂුයි යුවාන් මහතා සඳහන් කළේය.