තව්හීත් ජමාත් සංවිධානයට අයත් පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුළ පිහිටුවා ඇති එම සංවිධානයට අයත් සියලු පල්ලි වහාම තහනම් කරන ලෙස පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසි
නවයේ  මවුලවිවරු ඇතුළු නිලධාරිහු ඒකමතිකව ඉල්ලා සිටිති. ඔවුහු ඊයේ මේ පිළිබද සංදේශයක් පොළොන්නරුව මූලස්ථාන පොලිසියට ගොස් බාරදුන්හ.

එහි දී අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සමේලනයේ සභාපති එස්.ඒ.ඒ. සමන් මහතා පැවසුවේ ඔවුන් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ අවුරුදු 80ක් 100ක් පමණ කාලයක සිට පදිංචිව සිටින අතර කිසිදු ගැටුමකින් තොරව පොළොන්නරුවේ මුස්ලිම්, දෙමළ සහ සිංහල ජාතීන් ජීවත් වන බවයි. යම් ප්‍රශ්නයක් වුණා නම්, ඒ තව්හීත් ජමාත් සංවිධානය ආරම්භ වීමෙන් පසුව බව ඔවුහු පැවැසූහ.

තව්හීත් ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බව පැවසූ ඔවුන් වැඩිදුරටත් පැවසුවේ පසුගිය සිදුවීම් මාලාවත් සමග රටේ සියලුම මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවට පත් වී සිටින බවයි. මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීමෙන් තමන් දැඩි කම්පනයටත්, අනික් සියලු ජනතාව ඉදිරියේ දැඩි අපහසුතාවයටත් පත්වූ බවත් ඊට තව්හීත් ජමාත් සංවිධානය හේතු වූ බවත් ඔවුහු කියා සිටිති. එම නිසා පොළොන්නරුවේ සහ මුළු රටේම තිබෙන මෙම පල්ලි සහ සංවිධානය තහනම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

-කසුන් ඉරුගල්බණ්ඩාර-