ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය.



දූෂණ හා වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා කපුටෝවා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වූවාය. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා කපුටෝවා පරිසර නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය.


දේශපාලනයට නවකයකු වන සුසානා කපුටෝවා කරළියට පැමිණියේ මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමඟය. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන යාන් කුසියැක් සහ ඔහුගේ සහායකයා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් දෙදෙනාගේ ඝාතනය හේතුවෙන් ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එම නිසා එවකට සිටි අග්‍රාමාත්‍යරයාට ධුරයෙන් ඉවත් වීමට ද සිදුවිය. 

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලින් සියයට 58.4ක් හිමි කරගැනීමට සුසානා කපුටෝවා සමත් වූවාය. සුසානා කපුටෝවාගේ ප්‍රතිවාදියා වූයේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමි කරගැනීමට හැකිවූයේ සියයට 41.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඔහු යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරයි.