දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හීදී අත්අඩංගුවට ගත් රයන් වැන්රොයන් ලබන 11 වැනිදා. තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර
මහතා අද (5) නියෝග කළේය.

ඔහුට අයත් බව කියන මෝටර් රථය තුළ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750 ක් හමුවීමේ නඩුවට ඒ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

එම මෝටර් රථය ඩුබායිහීදී අත්අඩංගුවට පත් අමිල ප්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දා යන අයට අයත් මිරිස්සේ හෝටලයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබිණි.

ඒ අනුව මෝටර් රථය දැඩි ලෙස පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි ඩිකියේ රහසිගත ලෙස සඟවා තිබියදී එම කේරල ගංජා හමුවූ බව පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කෙරිණි.

ඒ පිළිබදව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට පත් කරන ලෙස පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් රත්නායක මහතා තම සේවා දායකයා විදෙස් ගතවීමෙන් පසු මෙවැනි චෝදනාවක් එල්ල වී ඇති බවත් ඔහුට ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

අදාළ මෝටර් රථය ලියාපදිංචි කර තිබුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට බව පොලීසිය සඳහන් කරයි.