“ෆැනී” (Fani) සුළි කුණාටුවේ බලපෑමෙන් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි.

“ෆැනී” සුළිකුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශයට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12ක කාලය තුළ “ෆොනී”, චණ්ඩ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන්කර ඉන් පසු ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ
විද්‍යාඥයින් අනුමාන කරයි.

මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර  වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද සෙසු පලාත්වල මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

මධ්‍යම කදුකර ප්‍රදේශවල, උතුර , උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට වයඹ, නිරත, දකුණු, ගිනිකොන, නැගෙනහිර, ඊසාන, සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තෙක් ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු කොටසේ සිටින ධීවරයින් හා නාවිකයින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.