කැළණිතිස්ස විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් විදුලිබල විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අප්‍රේල් 10 දා ඉදලා විදුලි අර්බුදයට ජනතාවට මුහුණ දෙන්න ඉඩතියන්නේ නැති බවත්
ඉදිරියේදී කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදීමට පියවර ගන්නා බවත් කීය.
ඔහු මෙසේ කීය.

"ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන්  මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ  10 දා දලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන්  ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා. කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදිය හැකි තත්ත්වයක් අපි සලසනවා.

අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ. රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන්  වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ. අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.


"කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ. දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා. දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා.

ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ.  මධ්‍යමකාලීනව අපි දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියලා විමසා බලනවා. කෙටි කාලීනව අපි සොයා බලන්නේ කොහොමද මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කියලා සොයා බලනවා. ඒ වගේම සැම වසරකම ඌනතාවයක් පවතින මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණය  කොහොමද සපුරා ගන්නේ කියලා තමයි සොයා බලන්නේ. ඒකට  අංගසම්පූර්ණ උත්තරයක් අපිට ලැබිලා තිබෙනවා. ජල විදුලියෙන් මේ සදහා නිසා දායකත්වයක් නොලැබුණත්, කොහොමද අපි මේ අවශ්‍යතා  සපුරා ගන්නේ කියලා සැලසුම් කළ යුතුයි.


ඇත්තවශයෙන්ම කලින් සැලසුම් කළානම්, කැළණිතිස්ස බලාගාරයෙන් තවත් අමතර මෙගාවොට් 500 ක් 600ක් වැනි ප්‍රමාණයක් මේ වනවිට උත්පාදනය කරන්න තිබුණා. නමුත් ඒ පිළිබදව සැලසුම් සකස්නොවීම හේතුවෙන් අද මෙවැනි අර්බුධ වලට මුහුණදීලා සිටිනවා. ඉදිරියේදී අපි අපේ සැලසුම් අංශ, බුද්ධි අංශ සමග සාකච්ඡා කරලා දිගුකාලීන විදුලිබල සැලසුම් සකස් කරනවා.

ප්‍රශ්නයක් විසදන්න හදනකොට, ඒ විසදන්න හදන අයට ප්‍රශ්න ඇති කරන එක නෙමෙයි සංවර්ධනය කියන්නේ. මම කලින් බලයේ සිටිය අයට චෝදනා කරන්නේ, දොස් කියන්නේ නැහැ. ඒ අයගේ වැරදි හෝ අඩුපාඩු සියල්ලක්ම මගේ කරට අරගෙන, මමත් මගේ කණ්ඩායමත් එවැනි ගැටළු ආයෙමත් ඇති නොවන පරිදි කටයුතු කරන්න සැලසුම් කරනවා" යැයි පැවසිය.