තම බිරියට විහිළුවට ගෙළ වැළලාගන්නට යන බව කියා ඇත්තටම ගෙළ සිරවී මියගිය සැමියකු ගැන පුවතක් පුත්තලම නගුල් එලිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
'මගේ සැමියා වූ ප්‍රදීප් ලක්ෂාන් පුරුද්දක් වශයෙන් නිතර එයා මා බිය ගන්වන වැඩ කළා. ලණුවක් ගෙන බෙල්ලෙ වැල දා ගන්නවා කියමින් මා බිය ගැන්නුවා. මෙදින රාත්‍රි 8ට විතරත් මෙයා වැඩ කරන ඉස්සන්
ගොවිපළේ මඩුවේ ඉඳගෙන ලණුවක් අරන් ඔන්න මම බෙල්ලේ වැල දාගන්නවායි කීව්වා'
 යනුවෙන් බෙල්ලට දමාගත් ලණුවක් සිරවීම නිසා සැමියාගේ මරණ පරික්ෂණයේදී නල්ලඳරන්කට්ටුව මුතුපංතිය නගුල් එලියේ පදිංචි මහේන්ද්‍රන් නිවේදනී (19) මහත්මිය කීවාය.
මෙසේ මියගොස් ඇත්තේ නල්ලදරන්කට්ටුව මුතුපංතියි නගුල් එළිය ධීවර ගම්මානයේ පදිංචිව සිටි හපුආරච්චිගේ ප්‍රදීප් ලක්ෂන් (20) නමැති තරුණයෙකි.
මෙම මරණය සම්බන්ධයෙන් බංගදෙණිය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක ආරියපාල රංගදෙණි මහතා ඉදිරියේදී හලාවත දිස්ත්‍රික් රෝහලේදී හදිසි මරණ පරික්ෂණය පැවැත්වීය.

වැඩි දුරටත් සාක්කි  දුන් මහේන්ද්‍රන් නිවේදනි මහත්මිය තව දුරටත් මෙසේ පැවැසුවාය.

මගේ ගම උඩප්පුව ආඩිමුණේය. මම පසුගිය කාලයේදි සාරාවිල පිහිටි ඉස්සන් සැකසීමේ මධ්‍යස්ථානයකට ගියා. එහි සේවය කළ ප්‍රදීප් ලක්ෂාන් දැන හදුනා ගත්තා. එහිදී ඔහු හා මා අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වූ අතර පසුව අපි දෙදෙනා නගුල් එලියේ  ප්‍රදීප් ලක්ෂාන්ගේ නිවෙසට ඇවිත් පවුල් කෑම ආරම්භ කළා.
 ඒත් අපි දෙදෙනා තීත්‍යනුකූලව විවාහවී සිටියේ නැහැ. මට  මෙම සිද්ධිය වූ දින මට  වැසිකිළි යාමට අවශ්‍ය  වූ නිසා මම එයාට කිවා ටිකක් ඉන්න මම වැසිකිළි ගිහින් එන්නම් කියලා. ඒ කියලා මම වැසිකිළියට ගිහින් එනවිට එයා ගෙල වැළලාගෙන සිටිනු දුටු විට බියට පත් මා ආධාර ඉල්ලා කෑ ගැසුවා. එවිට අසල්වාසීන් ඇවිත් එයා බිමට ගෙන වහාම හලාවත රෝහලට රැගෙන ගියා. ඒ යන අතර එයාට සිහි තිබුණෙ නැහැ. රෝහලට ගියාට පසුව එයා මිය ගොස් ඇති බව අප දැන ගත්තා.

මට මේ මරණය ගැන කිසිම සැකයක් නැහැ. එයාට ගෙල වැළලා ගන්න කිසිම හේතුවක් තිබුණේ ද නැහැ. විහිළුවක් කරන්න ගිහින් එයාගේ ගෙල හිරවී මෙම මරණය සිදුවන්න ඇති''
යනුවෙන් පවසා සිටියා.

ආරච්චිකට්ටුව වැලිවැව පදිංචි කුරුප්පු ආරච්චිගේ නිරෝෂා මහත්මිය සාක්කි දෙමින් මෙසේ පැවැසුවාය.

''මගේ ස්වාමි පුරුෂයාගේ කලින් විවාහයෙ පුතා තමයි මෙලෙස මිය ගොස් ඇත්තේ. එයා හිතුවක්කාර විවාහයක් කරගෙන. එහෙත් නීත්‍යනුකූලව විවාහවෙලා නැහැ. මේ පුතා එයාගේ බිරිඳ සමග නගුල් එළියේ වාසය කළ අතර අපි සිටියේ ආරච්චිකට්ටුව වැලිවැවයි. මෙදින රාත්‍රි සිද්ධිය ආරංචි වෙලා ඇවිත් බලනවිට ප්‍රදීප් ලක්ෂෂාන් පුතා රෝහලට යවලා තිබුණා. පසුව දැන ගත්තා ඔහු මියගොස් ඇති බව. මේ මරණය ගැන සැකයක් නැහැ''යැයි ද කීවාය.

 නල්ලදරන්කට්ටුව මුතුපංතිය නගුල් එළියේ පදිංචි කෘෘස්   (32) මහතා සාක්කි දෙමින් මෙසේ කීය.

මෙදින රාත්‍රී මා නිවෙසේ සිටියදී ඉස්සන් ගොවිපලේ මඩුව පැත්තෙන් කෑ ගසන ශබ්ද ඇසි බලනවිට ප්‍රදීප් ලක්ෂාන් ගෙල වැළලාගෙන සිටිනු දැක වහාම ඔහු බිමට ගත්තා. එවිට ඔහුගේ සිරුර සීතල වී තිබුණි. පසුව අපි වහාම ඔහු හලාවත රෝහලට අරගෙන ගියා. එහිදී දැන ගත්තා ප්‍රදීප් ලක්ෂාන් මියගොස්  ඇති බව.ඔහු බිරිඳ බියගන්වන්න ගිහින් මෙම මරණය වූ බවත් දැන ගත්තා යයිද කීය.
 මේ පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබලිව්. එම්. ඩබ්ලිව්. කුමාර මහතා පශ්චාත් වෛද්‍ය පරික්ෂණය සිදුකර මෙම මරණය ගෙල වැළලාගෙන සිදුවූ මරණයක් බවට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
මෙම මරණය ගෙළ වැළලාගෙන කර ගත් දිවි නසා ගැනීමක් බවට මරණය පරික්ෂකවරයා තීරණය  කළේය.