සතුන් ඇල්ලීම සදහා අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇටවූ උගුලකට හසුව මියගිය පුද්ගලයෙකු හඳපාන්ගොඩ, කැකුන්දොල, ගෝනකුඹුර ඇළට දැමූ බවට පැවසෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42,48 හා 52 වසසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

සැකකාර පුද්ගලයන්ගේ ප්‍රකාශ මත මළ සිරුර ගැට ගැසීමට උපයෝගී කරගත් ලණු හා එය රැගෙන යාමට උපකාර කරගත් පොල්ලක් මෙන්ම මියගිය පුද්ගයාට අයත් ජංගම දුරකථනයක්ද

සොයාගත් බව පොලීසිය පවසයි.

මෙලස මියගොස් තිබුණේ හඳපාන්ගොඩ, බටුගම්පොළ ජන උධ්‍යාන ගම්මානයේ පදිංචිව සිටි අටුගෙදර සුමතිපාල (50) නමැති තිදරු පියෙකි.

පසුගිය ජනවාරි 19 දින රාත්‍රියේ මළ ගෙදරකට යන බව පවසමින් යතුරුපැදියෙන් නිවසින් පිටත් වු සිය සැමියා දින දෙකක් ගත වුවද නිවසට නොපැවිදි බවට මියගිය පුද්ගලයාගේ බිරීඳ ඉංගිරිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී එම පුද්ගලයාගේ මළ සිරුර ගෝකුඹුර ඇළේ පාවෙමින් තිබියදී ඊට පසුදින (22දා) හමුවූ බවත්, අනතුරුව ඒ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර මහේස්ත්‍රාත් නියෝග මත අධිකරණ වෛද්‍යවරයකු ලවා පැවැති මරණ පරීක්ෂණයේදී මරණයට විවෘත තීන්දුවක් ලබාදී තිබූ බවත් පොලීසිය පවසයි.

මෙම මරණය පිළිබඳව ඇති වූ සැකයක් මත ඉංගිරීය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් දර්ශන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සංජීව මහතා මියගිය පුද්ගලයා පරිහරණය කරන ලද ජංගම දුරකථන දෙකෙහි අංකයන් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් නියෝග මත අදාළ දුරකථන සාමාගම් දෙකෙහි විෂ්ලේෂණ වාර්තා බලා ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.

 ඒ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය සමිබන්ධයෙන් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණ බව පොලීසිය පවසයි.  පසුගිය 19 වැනි දින රාත්‍රියේ මෙම පුද්ගලයන් තිදෙනා ඔවුන්ගේ වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විදුලි රැහැනකින් අනවසරයෙන් ලබාගත් විදුලියෙන් මීටර් එකසිය පනහක පමණ දුරකට වන්නට කැලෑබද පෙදෙස හා කුඹුරු යාය ආවරණය වන පරිදි උගුලක් අටවා ඇති බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයක සදහන් වේ.

එදින රාත්‍රියේදී විදුලි පන්දම් එළියක් වීදුලි රැහන ඇදතිබූ කැලෑ පෙදෙසින් දැකීමත් සමග විමසිලිමත් වීමේදී යම් පුද්ගලයෙකු දුටු බවත්, තමන් එම පුද්ගලයාට ඇසෙන්නට කෑ ගැසූවිට එම පුද්ගලයා විදුලි වයරය තිබුන පැත්තට දිවගෙන ගිය අතර, ඒ සමගම ඔහු වැටුණු බවත්, සැකකරුවන්ගේ ප්‍රකාශවල සඳහන්ව තිබේ.

- බිමල් සමන් ජයසිංහ-
  - නිමාලී කහවල-