කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය 'ශිව පාදම්' ලෙස වෙනස් කිරීමට ගත් තීරණය වහාම
ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7 දා) නියෝග කර ඇත.

 මේ පිළිබඳව පළවූ පුවත් පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක්  සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුට පළකර ඇත.

මේ අතර පළාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙළිය ප්‍රාදේශීය සභාවට අදාළ නියෝගය නිකුත් කිරීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතීන්  මත පදනම් වී සිදුවන නොසන්සුන්තාවන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුළ සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සදහා පාර කැපෙන සුළු  අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂෙයන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු  කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග  සාකච්ඡා කර සමිමුතියෙන් එය සිදු කළ හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

-චමිල් රූපසිංහ-