වනඅලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ (එස්.එම්. එස්.) සේවාව හේතුවෙන්  ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුව නැතැයි අලි ඇතුන්  දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.

දුම්රිය මාර්ග ආසන්නයේ අලි ඇතුන් ගැවසෙන්නේ නම්, ඒ පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් විවෘත කර තිබෙන බවත්, එම අංකයට දිනකට ඇතුම් හතරක් හෝ පහක් ලැබෙන බවත් එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරේෂ් පෙරේරා මහතා සඳහන් කළේය.

 මීට අමතරව දුම්රිය මාර්ග ආසන්නයේ
අලි ඇතුන් ගැවසෙන්නේ නම්, ඒ පිළිබඳ ස්වයංක්‍රීයව එස්.එම්.එස්. පණිවුඩයක් ලැබෙන උපකරණ දෙකක් අලි මංකඩ දෙකක මේ වනවිට සවිකර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අලි ඇතුන් ගැවසෙන දුම්රිය මාර්ග පිළිබඳ ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට මීට දින 125කට පමණ පෙර 071-4445454 දරන දුරකථන අංකය විවෘත කළ බවත්, ජනතාවගෙන් හා ස්වයංක්‍රීය පද්ධතියෙන් ලැබුණු තොරතුරු මත දුම්රිය මාර්ග ආසන්නයේ අලි ඇතුන් ගැවසීම පිළිබද අනතුරු ඇඟවීම් සියයක් නිකුත් කර තිබෙන බවත් ඉරේෂ් පෙරේරා මහතා පැවසීය.

 ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලට අනුව දුම්රිය රියැදුරන්ට හා කාර්යමණ්ඩලවලට අනතුරු ඇඟවීමේ එස්.එම්. එස්. පණිවුඩ නිකුත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.


 ඉන්දික හේවාවිතාරණ