කුඹුරු ඉඩම්වල යන්ත්‍ර යොදාගෙන පතල් කැපීමට යළි අවසර දී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙබරවාරි මාසයේ සිට එම අවසරය ලබාදී ඇති බවත් ඊට ක්‍ෂේත්‍ර පරීක්‍ෂණය සිදු කර ඒ මඟින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට එකඟව එම කුඹුරු ඉඩම් පවතී නම් පමණක් එම අවසරය ලබාදෙන බවත් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කරයි.

24/2018 දරන චක්‍රලේඛය මඟින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන්ත්‍ර යොදාගෙන කුඹුරු ඉඩම්වල පතල් කැපීම් තහනම් කළ අතර 2019 පෙබරවාරි එම තහනම සංශෝධනයන් මඟින් ඉවත් කර ඇති බවද සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ 9 වැනි වගන්තියේ ඒ පිළිබඳව සඳහන් වන බවයි. සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරුවලට මේ යටතේ අවසර ලබා දීම සිදු නොකළ යුතු අතර එසේ සිදු කරන්නේ නම් එම පතල් කැපීම් නිසා අවට ඇති කුඹුරු ඉඩම්වල වගා කටයුතුවලට බාධාවක් සිදු නොවන බවට ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයන් මඟින් තහවුරු කර යන්ත්‍ර යොදා පතල් කැපීමට අවසර ගත හැකි බවට නව සංශෝධිත චක්‍රලේඛයේ සඳහන් වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නුවන් හෙට්ටිආරච්චි