මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ සඳහා තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා
කරන බව ජනාධිපතිවරයා පසුගියදා පැවැති මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝ කාලයක් ගත වීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති බව පෙන්වා දී
ඇති ජනාධිපතිවරයා එම තත්ත්වය වහා නිවැරැදි විය යුතු බවත් අවධාරණය කර තිබේ.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් කතාබහට ලක් වී තිබුණේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳව අද රටේ මහජනතාවගේ අවධානය යොමුව තිබෙන ආකාරය සම්බන්ධවයි. මේ අතර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳව පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීමේ ඇති වැදගත්කමද ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එමෙන්ම පාසල් ළමයින් බාබුල් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව විදුහල්පතිවරුන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් තමාට තොරතුරු ලැබී ඇති බවත් ඊට අදාළ නීතිමය සංශෝධන පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් පෙන්වා දී තිබේ. මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අප්‍රේල් 02දා තම ප්‍රධානත්වයෙන් නැවත කැඳවීමටද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත.

-පහන් විජේසේකර