අනුරාධපුර රජයේ පාසලක ආපනශාලාවක් මවක් විසින් පවත්වාගෙන යන අතර ආපනශාලාවට සම්බන්ධව විද්‍යාලය ඉදිරිපිට රැඳෙමින් හෙරොයින් අලෙවීයේ නිරතවූ චාරා සහ චමී යන අන්වර්ථ නාමයන්ගෙන්
හඳුන්වන ජාවාරම්කරුවන් දෙදෙනකු උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක දිසා වැටලීම් ඒකකය මඟින් හෙරොයින් පැකට් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර නගරය ආසන්නයේ විද්‍යලයක පාසල් ආපනශාලාවක් පවත්වාගෙන යන කාත්තාවකගේ පුත්‍රයකු ඊට මුවා වී
හෙරොයින් අලෙවි කරන බවට දිසා වැටලීම් ඒකකයට ලැබුණු රහසිගත ඔත්තුවකට අනුව සැකකරුවන් දෙදෙනා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

විද්‍යාලයේ ආපනශාලාව සැකකරුගේ මව හා බිරිය විසින් පවත්වාගෙන යන බවත් සැකකරු විද්‍යාලයේ ආපනශාලාවට සම්බන්ධ වෙමින් මත් ජාවාරම සිදු කරන බවට ඔත්තුකරු ලබාදුන් තොරතුරකට අනුව වැටලීම් කර තිබිණි. ඔහුගේ මිතුරා බව කියන චාරා නමින් හඳුන්වන සැකකරු විද්‍යාලය ඉදිරිපිටට වී හෙරොයින් අලෙවිකරන බවත් මොවුන් වෙනත් පුද්ගලයන් හෙරොයින් බීමට ඇබ්බැහි කරනු ලැබුවත් ඔවුන් හෙරොයින් පානය නොකරන බවත් පොලිසිය පැවැසීය. සැකකරුවන් දෙදෙනාම විද්‍යාලයට ආසන්නයේ පදිංචි වී සිටින 39 හා 29 වැනි වියේ පසුවන සැකකරුවන් වන අතර දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-