කෑගල්ල නගරයේ පෞද්ගලික මත්පැන් හලක මත්පැන් පානය කරමින් සිටි තරුණයකුට විදුලිසර වැදී මියයෑම සැකසහිත බැවින් කෑගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු සමග මත්පැන්
පානය කළ මිතුරන් දෙදෙනාත් එම ආයතනයේ සේවකයින් දෙදෙනාත් මාර්තු මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කෑගල්ල මහෙස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා පසුගිය 12වැනිදා නියෝග කර ඇත.

 මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ හෙට්ටිමුල්ල

උඩුමාගම, අඹගහදෙණියේ පදිංචිව සිටි 33 හැවිරිදි රණසිංහ කංකානමලාගේ රුෂාන් මනෝහර රණසිංහ නමැති අවිවාහක තරුණයෙකි. ඔහු කලක් ඇමරිකාවේ නැවක වසර ගණනාවක් සේවය කළ අයකු වන අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට මාස 7කට පමණ ඉහත දී ලංකාවට පැමිණ ප‍්‍රතිකාර ලබා ගනිමින් සිට අයකු බව ද පැවසේ. පවුලේ එකම පිරිමි දරුවා ද වන මිය ගිය තරුණයාගේ දෙමාපියෝ රජයේ රැකියා කොට විශ‍්‍රාම ලැබූවෝ වෙති. වැඩිමහල් සහෝදරිය නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචිව සිටින බව ද බාල සහෝදරිය මවුපියන් සමග නිවසේ ජීවත් වන බව ද පැවසේ.
 මෙම තරුණයාගේ අසනීප තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් සුව අතට හැරී ඇති අතර ඔවු මාර්තු මස 22 දා යළි වෙනත් නැව් සමාගමකට යෑමට අදහස් කරගෙන සිටි බව ද මව්පියෝ කියති. මෙම අවිවාහක තරුණයා තරමක් දුරට මත්පැන් පානය කිරීමට පුරුදුව සිටි බව ද ඉකුත් 10 දා තවත් මිතුරන් තිදෙනකු සමග කෑගල්ල නගරයේ ස්ථානයකට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇති බව ද කෑගල්ල පොලිසිය කියයි. මත්පැන් පානය කරන අතර තුර මෙම තරුණයා ආයතනයේ ඉදිරිපස තිබූ නාමපුවරුවට ඇද තිබූ විදුලි වයරය අල්ලා ඇති බවත් පසුව තරුණයාට විදුලි සර වැදී අසල තිබූ ඇළට වැටී ඇති බවත් එම අවස්ථාවේදී මිතුරන් දෙදෙනා හා පෞද්ගලික ආයතනයේ සිටි දෙදෙනා විසින් තරුණයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් කෑගල්ල මහ රෝහලේ 12 දා පැවැති හදිසි මරණ පරික්ෂණයේදී ආවරණය වී තිබුණි.



 මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්ත විජේරත්න මහතා විසින් සිදු කර තිබුණු අතර එහිදී විදුලි සර වැදීමෙන් මියගොස් ඇති බවට ද නිගමනය වී තිබුණි.

 සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත රුවන් බණ්ඩාර, පොලිස් සැරයන් වීරකෝන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණවල නියැලී සිටියහ.

කොටියාකුඹුර - රම්‍යපාල, කෑගල්ල එම්.බි.පහලවත්ත