මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිංගප්පූරුව වෙත එල්ල කරන ලද චෝදනා සිංගප්පූරු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (18දා) චෝදනා කළේ, අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිංගප්පූරුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්, ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස් ප්‍රකාශ කළ යුතු බවය.

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තිය සිංගප්පුරුව විසින් පැහැදිලි කළ යුතුව ඇතැයිද ජනපතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා පැවසීය. 
කෙසේ වෙතත් සිංගප්පුරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් ඊයේ (20දා) වාර්තා කළේ, අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලීයකියවිලි ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවයි.

එසේම මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කළද, මේ දක්වාම සිංගප්පුරුව විසින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින ලද ලියකියවිලිත් සිපගප්පූරුවට ලබාදීමට ශ්‍රී ලංකාච අපොහොසත් වී ඇති බවද සඳහන් කර තිබිණි.

සිංගප්පුරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සලකා බැලිය හැකි බවත් සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙකු පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට පිටුවහල් කළ හැකිය.

ශ්‍රී ලංකාවද පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.

2015 වසරේ සිදු වූ මතභේදාත්මක බැදුම්කර ලනුදෙනුවෙහි ප්‍රධාන චූදිතයෙකු බවට පත්ව  ඇති අර්ජුන් මහේන්ද්‍රන්  මහතා මේ වනවිට විදේශගතව සිටියද, ඔහු  සිටින ස්ථානයක් පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයකු වන අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ අනුව ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත්කෙරිණි.

-රුවන් කාශ්‍යප-