ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රීධුර දරන මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සහා කිහිපයක මන්ත්‍රීවරු රැසක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. නුසුදුසුකම් සහිතව ඡන්දය ඉල්ලු බොහෝ පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස සිටින බව ඒ
සම්බන්ධයෙන් කළ විමසුමකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.  ඒ අය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු සොයා බැලීමක් කරන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

 එම සොයා බැලීමේදී මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අය මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්ව සිටී නම්
ඒ අය මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. එසේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීධුරයක් දරමින් සිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී ක්‍රිෂ්ණපාලන් ත්‍යගරාජා මහතාගේ මන්ත්‍රී ධුරයද අහිමි කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් මගින් අදාළ මන්ත්‍රිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා සහාපතිධුරයෙන් මෙන්ම මන්ත්‍රීධුරයෙන් ඉවත්කරනු ලැබුවේ ඔහු අධිකරණයෙන් වරදකරු වී සිරදඩුවම් විඳි අයෙකු වූ නිසා බවද පළාත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.

-ගයාන් කුමාර වීරසිංහ-