ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සදහන්
කරයි. මෙම ප්‍රශ්න කිරීම් සඳහා  මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි පොලීසිය විසින් "මාකඳුරේ මධුෂ්'
ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මන්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුද සිදු කර තිබෙන බවටද වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මතුකුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.
අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මෙම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.  මේ අතර, උපන්දින සාදයට සහභාගී වීම සඳහා තවත් ප්‍රධාන පෙළේ අපරාධකරුවකු ඇතුළු දෙදෙනෙකු ආරක්ෂක අංශ හෝටලය වටකිරීමත් සමගම පැනගොස් ඇති බවටද තොරතුරු හෙළිව ඇති අතර එසේ පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තාවෙයි.

මධුෂ් ඇතුඵ පිරිස ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එරට තුළදී  මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා විසා ගුවන් ගමන් බලපත්‍ර වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා මත බැවින් මෙම පිරිසට එරට නීතිය ක්‍රියාත්මක වන බවද වාර්තා
වී ඇත.

ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හෝ සිරකරුවන් හුවමාරු කරගැනීමේ නීත්‍යනුකුල ක්‍රමවේදයක් නොමැති නිසා මධුෂ් ඇතුළු පිරිස රාජතාන්ත්‍රික මට්ටමින් මෙරටට රැගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබන බවට වාර්තා වේ.

 මීට අදාළව මෙරට විදේශ කටයුතු අමාතයංශය එරට විදේශ සේවා කටයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටද සැලසුම් කර තිබෙන බවට වාර්තා වන අතර, මේ සඳහා ආරක්ෂාක අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට නියමිතය.  එහෙත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළහොත්  මෙම සැකකරුවන් මෙරටට රැගෙනවිත් ඔවුන්ට මෙරට තුළදී සිදුකර තිබෙන වැරදිවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයක් සඳහන් කළේය.


-ඉන්දික හේවාවිතාරණ-