කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඩ නියම වූවකු එදිනම නැවත පුරුදු රස්සාවට ගොස් වස ශරීරගත වීම නිසා රෝහල්ගත වූ සිද්ධියක්  අගුණකොළපැලැස්සෙන් වාර්තාවේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අගුණ කොළැපැලස්ස පහළ ගුරුවෙල ප්‍රදේශයේ පදිංචි හතළිස් නව හැවිරිදි අයකු බව පොලිස් නිලධාරීහු කියති.

මෙම සැකකරු දීර්ඝ කාලයක සිට කසිප්පු ජාවාරමේ නිරත වන අතර, කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට පත්ව අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කළ  මොහුට ඉකුත් 14 වැනිදා වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත රෝහණ මහතා රුපියල් අට දහසක දඩයක් නියම කළේය.

 දඩ නියම වූ සැකකරු එදිනම නැවැත ඔහුගේ නිවෙසෙහි  කසිප්පු පෙරමින් සිටින බවට ලද තොරතුරු අනුව අගුණකොළ පැලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් යළි සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුට වස ශරීරගත වීම නිසා අගුණකොළපෑලැස්ස රජයේ රෝහලට ඇතුළත් කළ බව නිලධාරීහු කියති.

සැකකරු අසල කිසියම් දියර වර්ගයක් අඩංගු බෝතලයක් තිබූ බව නිලධාරීහු කියති. සැකකරුගේ නිවෙසහි තිබී කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ, ගෝඩා මිලිලීටර දසදහසක් අඩංගු බැරලයක් සහ කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර හාරදහස් දෙසිය පනහක් පොලිස් බාරයට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරු අඟුණකොළපැළැස්ස රජයේ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.

- අනීෂා මානගේ-