පවතින උණුසුම් තත්වය නිසා ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය නොකළහොත්, වකුගඩුවලට බලපෑම් එල්ලවිය හැකි බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.එසේම අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්.
මොහොමඩ් රිෆාස් මහතා පැවසීය.
ශරීරයට අධික උණුසුමක් දැනෙනවා නම්, හැකි තරම් ජලය පානය කරන ලෙසත්, මීට අමතරව කොමඩු, කැකිරි වැනි පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය වැඩිපුර ඇති එළවළු ආහාරයට ගන්නා ලෙස  මහාචාර්ය ජයසුමන පෙන්වාදෙයි.
එසේම උදෑසන 10.00ත් සවස
2.00ත් අතර කාලයේදී එළිමහනේ ගමන් කරන්නේ නම්, හිස්වැසුමක් හෝ කුඩයක්  භාවිත කළ යුතු බවත්, දැඩි උණුසුමක් ඇති අවස්ථාවලදී කුඩා දරුවන් එළිමහනට  යැවීම පිළිබඳ දෙමවුපියන් අවධානයෙන් සිටිය යුතු බවත්,ඒ මහතා පැවසීය.

සුළං ප්‍රවාහනයේ පවතින දුර්වලතා නිසා පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  එසේම මෙම තත්වය තවත් මාස දෙකක කාලයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
උෂ්ණාධික කාලගුණය නිසා උගුරේ අමාරුව, කැස්ස සහ සෙම ගතිය සමග කුඩා දරුවන්ට ඇසෙන් කබ ගැලීම, ඇස රතු වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බව වෛද්‍ය අයි.එල්. මොහොමඩ් රිෆාස්  පෙන්වා දුන්නේය.

එසේම වැඩිහිටියන්ට ඇසෙහි වේදනාව සමග වේලෙන ස්වභාවයක් දැනිය හැකි බවත් මේ තත්ත්වයෙන් මිදීම සඳහා හැකිතාක් ජලය පානය කරමින් සුර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ඔහු පැවසීය.