ශ්‍රී  ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියෙන්
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට
පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව සැලසුම්
සකස් කිරීම සඳහා හෙට (16දා) පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් පසුව ඉක්මනින්ම
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා හතුරුසිංහ
මහතාට දන්වා ඇති බවද සඳහන් වේ.

හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව 19දා දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන තරග
තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් කටයුතු
කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (14දා) එවූ මාධ්‍ය නිවේදනයක් මඟින් තහවුරු කර
තිබේ.

මේ අතර මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන
ස්ටීව් රික්සන් මහතා දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි
ද සිල්වා මහතා ඊයේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරට ගොස් ඇති බවද දැනගන්නට ඇත

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න
මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “සති දෙකක කාලයක් සඳහා නිවාඩු
ලබාගෙන ඕස්ට්‍රේලියාවට යෑමට හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තියෙනවා. ඔහු
දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණියහොත් ලෝක
කුසලාන තරගාවලියට අදාළව ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය මදිවීමට පුළුවන්
නිසයි මෙම තරගාවලිය අතරතුරදී ලංකාවට ගෙන්වා ගන්න තීරණය කළේ.
 එහෙම නැතිව ඔහුව පුහුණුකරු
තනතුරෙන් ඉවත්කිරීමට අපි කිසිම තීරණයක් ගෙන නැහැ. කොහොම වුණත් අප්‍රේල් මාසයේ 16 වැනිදා සිට
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී පුහුණු සැසියක් පැවැත්වීමට අපි
දැනටමත් සැලසුම් සකස් කරගෙන ඉන්නවා. ඒ සඳහා හතුරුසිංහ මහතා සහභාගි වේවි." යනුවෙන්ද
වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

විචිත්‍ර වීරසිංහ