බෝලවත්ත ප්‍රදේශයේ නිවසක කාලයක සිට පවත්වා ගෙන ගිය ගංජා අලෙවි කිරීමේ ස්ථානයක් වටලා පෞද්ගලික ඉංග්‍රීසි උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු 15 දෙනකු ගංජා ග්‍රෑම් 200ක් සමඟ පෙරේදා (19දා)
වෙන්නප්පුව මූලස්ථාන
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවිල,  දංකොටුව, බෝලවත්ත යන ප්‍රදේශවල පදිංචි පිරිසක් බව වෙන්නප්පුව පොලිසිය පැවැසීය.

පොලිස් බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වැටලීම කර ඇති අතර එහිදී ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් හෙළිකරගත් තොරතුරු අනුව ගංජා අලවියේ යෙදුණු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරුව ගංජා පැකට් කිරීමට සහාය වූ ඉග්‍රීසි උපකාරක පන්ති ගුරුවරයෙක් ඇතුළු ගංජා මිලදී ගැනීමට පැමිණි 13 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසේදී ගංජා කුඩා පැකට්වලට අසුරා ඇති අතර මොහු දංකොටුව හා වෙන්නප්පුව ප්‍රදේශවල පෞද්ගලික ටියුෂන් පන්තිවල ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරන අයකු බවද පොලිසිය සදහන් කළේය.

-ඇම්.ඩී.රවීන්ද්‍ර-