ප්‍රදේශ ගණනාවක ATM මුදල් යන්ත්‍ර මගින් වංචනික ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයකු අනුව ලංකා බැකුව ආසන්නයේදී 28 වැනි දින අත්අඩංගුවට ගත්බව අලව්ව පොලීසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන සැකකරු කොළඹ සිට මහනුවර හා කොළඹ සිට අනුරාධපුරය
දක්වා මාර්ගවල පිහිටි බැංකු ATM මුදල් යන්ත්‍ර මගින් වසර කිහිපයක සිට වංචනික ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ලබාගෙන ඇත.  ATM මුදල් යන්ත්‍රයට මුදල් කාඩ්පත ඇතුළත් කරන ස්ථානයට සැකකරු විසින් කඩදාසි කැබැල්ලක් ඇතුළු කර තබා මුදල් යන්ත්‍රය ආසන්නයේ පසෙකට  වී සිටී.

මුදල් ලබා ගැනීමට පැමිණෙන පිරිස් තම කාඩ්පත යන්ත්‍රයට ඇතුළත් කර ගැනීමට නොහැකි නිසා සැකකරු උදවු කිරීමට ඉදිරිපත් වී රහස්‍ය අංකයද ඔවුන්ගෙන් දැනගෙන නියමිත කාඩ්පත සැකකරු විසින් සඟවාගෙන ව්‍යාජ කාඩ්පතක් මුදල් යන්ත්‍රයට ඇතුළත් කර කාඩ්පත ආපසු ගැනීමට නොහැකි බව පවසා සැකකරු ඉවත්ව යයි. සැකකරු විසින් සඟවාගත් නියමිත ඒ.ටී.එම්. කාඩ්පත වෙනත් ප්‍රදේශයක ATM මුදල් යන්ත්‍රයකට දමා මුදල් ලබා ගැනීම මොහු වසර ගණනාවක සිට කර ඇති බව පොලිසිය කියයි.

දිනකට රුපියල් විසි හතරදාහක මුදලක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා වැය කිරීමට සිදුවන හෙයින් ඔහු මෙලස වංචනිකව මුදල් සෙවීමට පෙලඹී තිබේ. මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත දිනකට රුපියල් හාරදාහක් ගෙවිය යුතු ඇල්ටෝ වර්ගයේ කාරයකින් පැමිණ සිටි සැකකරු අලව්ව ලංකා බැංකු ATM මුදල් යන්ත්‍රයෙන් කාන්තාවකට මුදල් ලබා ගැනීමට උදවු කිරීමට ගොස් ඇත. එම කාන්තාවට ඔහු පිළිබද සැක සිතී අසල තැනැත්තකුට ඒ බව පවසා ඒ ස්ථානයේ සිටි අලව්ව පාලීසියේ පොලිස් කොස්තාපල් විජිත කුමාර (68887) මැදිහත් වී ඔහු සැකකරු අල්ලා පොලිසියට රැගෙන ගොස් පරීක්‍ෂණ පැවැත්වීමේදී මෙම කරුණු අනාවරණය වූ බව අලව්ව පොලිසිය පවසයි.

-සුසන්ත අබේරත්න-