උපකාරක පන්ති සඳහා පැමිණ අනුරාධපුර නගරයේ විවිධ ස්ථානයන්හි රස්තියාදුවේ යමින් හා පෙම්සුව විඳිමින් සිටි උසස් පෙළ සිසු සිසුන් සහ අවකල් ක්‍රියාවේ නිරතවූ කාන්තාවන් ඇතුළුව 33 දෙනකු අනුරාධපුර
මුලස්ථාන පොලිසිය අංශ කිහිපයක් සමඟ එක්වී කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබිණි. අනුරාධපුර නව නගරය, දහයියාගම හන්දිය අනුරාධපුර පැරණි පූජා නගරය ආවරණය වන අන්දමින් කළ මෙහෙයුමේදී උසස් පෙළ අමතර පත්තිවලට පැමිණ අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනවල පෙම්සුව විදී යුවළ තුනක්, උපකාරක පන්ති නොයමින් විවිධ ස්ථානවලට වී කාලය ගත
කළ උසස් පෙළ සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය අලෙවිය හා කප්පම් ගැනීම්වල නිරත වන බවට

සැකකරන පෙත්තා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා හා ආයුර්වේද සම්බාහන
මධ්‍යස්ථානවල සේවයේ නියුතු වෙමින් අවකල් ක්‍රියාවේ නිරතවූ බවට චෝදනා ලැබූ කාන්තාවන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබිණි.

පිට පළාත්වල සිට අනුරාධපුර නව නගරයට අමතර පන්ති සඳහා පැමිණෙන සිසුන් මත්ද්‍රව්‍ය ඉරීමට හා වෙනත් අපචාරවලට යොමුවී තිබෙන බවටත් ඇතැම් තරුණයන් මත්කුඩු ඉරීම සඳහා මුදල් උපයා ගැනීමට වෙනත් සිසුන්ගෙන් කප්පම් ගන්නා බවටත් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකරයාට තොරතුරු ලැබීම නිසා හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. අත්අඩංගුවට ගත් උසස් පෙළ සිසුන් බොහෝ දෙනකු තව නොබෝ දිනකින් පැවත්වෙන උසස් පෙළ විභාගයට  මුහුණ දීමට සුදානම් වන බවත් ඔවුන් මවුපියන්ට අමතර පන්ති පැමිණින බව පවසා අනුරාධපුර නගරයට පැමිණ පෙම්සුව විදීමට නිවාඩු නිකේතනවලට ගොස් සිටි බවත් පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සිසු සිසුවියන් සියලුම දෙනා වයස අවුරු 18 පසුවූ බවත් ඔවුන්ට තරයේ අවවාද කර මුදාහැරී බවත් පොලිසිය පවසයි. ඔවුන් මිහින්තල නොච්චියාගම කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, මහ විලච්චිය වැනි දුර බහැර පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

පොලිස් අත්අඩංගුචට පත්වී සිටි පෙත්තාට සිය අනන්‍යතාව ඔප්පුකර ගැනීම සඳහා කිසිදු ලේඛනයක් සන්තකයේ නොතිබුණු බවත් ඔහු මහජන පොළෙහි වෙළෙඳාම සඳහා පැමිණි අවස්ථාවේ නිකරුනේ අත්අඩංගුවට ගත් බවත් පවසමින් පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් විය. සැකකරු අනුරාධපුර නගරයට අමතර පන්ති පැමිණෙන සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම හා දුරබැහැර සිට අනුරාධපුරයට අමතර පන්ති සඳහා පැමිණෙන සිසුන් බිය ගන්වා කප්පම් ගන්නා බව පොලිසිය පවසයි. ඊට අමතරව අනුරාධපුර මාර්කට් පෙදෙස ඇතුළු ස්ථාන කිහිපයක කළ වැටලීමේදී අවකල් ක්‍රියාවේ නිරත වූ කාන්තාවන් අට දෙනකු  පොලිස් අත්අඩංගුවට පත්වී තිබූ අතර ඔවුන්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-