විවාහය යනු සුන්දර දෙයකි. කතාවට කියන්නේ එය බලා ඉන්නා අයට ඉතාමත් සුන්දර දෙයක් බවත් විවාහ
වූ අයට තරමක් අපහසු දෙයක් බවයි. කෙසේ නමුත් ආසියාතික රටක් වන අපේ රටේ විවාහය සංස්කෘතික

මංගල්‍යයකි. එසේම ආසියානු සමාජයේ විවාහයට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි.

අප සමාජය තුළ සංස්කෘතික වශයෙන් මෙන්ම නීතිමය වශයෙන්ද විවාහ සහතිකය වැදගත්ය. එය බොහෝ
දෙනකුට ජීවිත කාලය තුළ ප්‍රයෝජනවත් වන අවස්ථා බොහෝමයකි. එවන් විවාහ සංස්කෘතියක් ඇති
ලංකාවේ පසුගිය 13 වැනි දින අපූරු විවාහයක් සිදුවිය. ඒ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

ගාල්ල, ඉමදුව ඉබ්බාවල ගම්මානයේ වසර විස්සකට අධික කාලයක් රෝගී වූ ගැමියකුට උවටැන් කළ තවත්
ගැහැනියක් අතර ඇතිවූ විවාහය තවත් එක් විවාහ උත්සවයක් නම් නොවේ. අසනීප තත්ත්වයෙන් සිටි කාලයේ
උපකාර කළ කාන්තාවට තම සියලුම ධනය ලබාදෙන්නටත් එම කාන්තාව විවාහ කර ගන්නටත් මේ පිරිමියා
තීරණය කළේය.

තමා තවත් වැඩි කාලයක් ජීවත් නොවන බව මනාලයා තේරුම් ගත්තේය. මනාලියට මේ බව කියා ඇය හා
ඔහු විවාහ ගිවිස ගත්තේය. මෙය නමට පමණක් වූ විවාහයකි. නැතිනම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ විවාහ
පොතේ විවාහ සහතිකයට පමණක් වූ විවාහයකි. ඒ කෙසේවුවද ඔවුන්ගේ ආදරයේ අඩුවක් නැති බව
පෙනෙන්නට තිබිණි. ඒ ආදරණීය යුවළගේ කතාන්දරයට මංගල ඇඳුම් නැත. පෝරුවේ චාරිත්‍ර නැත. මංගල
වාහන නැත. නමුත් මඟුලක් සිදුව ඇත. එය පුදුම විවාහ උත්සවයකි.

මනාලයාගේ වයස අවුරුදු 86කි. මනාලියගේ වයස අවුරුදු 69කි. මනාලයාගේ නම අක්මීමන පල්ලියගුරුගේ
දානියෙල්ය.
මනාලිය ජාසිං ආරච්චිගේ දයාවතීය. මොවුන් විවාහ වීම සඳහා පැමිණ තිබුණේ ඉමදුව
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයටය.

මේ සුන්දර විවාහ දිනය ඔවුන්ගේ අමරණීය දිනයක් කරන්නට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක
පිරිස චාම් උත්සවයක් සංවිධානය කළේ කඩිමුඩියේය. ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම
විවාහයට අස්සන් කළේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්ති මෙනෙවියයි. මනාලියගේ පාර්ශ්වයෙන්
ඉමදුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රිනි, මල්ලිකා පද්මිණි මහත්මිය අස්සන් කළාය. එම කාර්යාලයේ
ප්‍රාදේශීය ලේකම්වරියගේ කාමරයේදීම කේක් කපා උත්සවය පැවැත්විණි.

කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ සුබ පැතුම් මේ දෙපළට එක්කෙරිණි. දානියෙල් මහතා සිය බිරිය වන
දයාවතී මහත්මිය සමඟින් කාර්යාලයෙන් පිටව ගියේ සියලුදෙනාට ස්තුති කරමිනි.

නව යුවළ එසේ කාර්යාලයෙන් පිටත්ව යන විට කාර්යාලයේ ඇසුණු සියුම් සංගීතයේ විජය කුමාරතුංග සමඟින්
චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මෙම ගීත ඇසුණේ සියලුදෙනාගේ ඇසට කඳුළක් එක්කරමිනි.

සැරයටියෙන් අපි යනෙන තුරා - සංසාරේ අපි එකට යමු....

සංසාරෙන් අපි සමුගන්නාදා - ඒ ගමනත් අපි එකට යමු....  

ඉමදුව - ටී. විතානවසම්