කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරායවල් දක්වා වර්ග සහ බඩු භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ඇරඹීමේ මූලික කාර්යයන් මේ වන විට ආරම්භ වී ඇති බවත් යුද  සමයට පෙර පැවති,
කොළඹ කොටුව සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකි දුම්රිය සේවාවද ඊට සමගාමීව යළි ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සදහා දැනටමත් මුල පුරා ඇති අතර තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතය.

මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යුද සමයට පෙර පැවති දුම්රිය සේවාවන් ඒකාබද්ධව සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා කොළඹ කොටුව සහ චෙන්නායි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම දෙරටේම මගීන් වෙත ඉදිරියේදී ලැබෙන බවත් මේ හරහා අඩු වියදමින් දඹදිව වන්දනා ගමන් යෑමේ අවස්ථාව ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට උදාවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට සමගාමීව කන්කසන්තුරේ වරාය නවීකරණයේදී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167 ක් දිගැති මීටර 22 ක් පළලැති නව ජැටියද ඉදි කෙරෙනු ඇත. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙන බවත් අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

-දිනුක මලින්ද-