පාසල් දරුවකුගේ හිසට සහ මුහුණට අතින් පහරදීම් සිද්ධියකට වරදකාරිය වූ පාසල් ගුරුවරියකට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විස්සුන්දර මහත්මිය ඊයේ (01) නියම කළාය.
සිර දඬුවමට අමතරව රුපියල් දස දහසක දඩ මුදලක්ද දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක කාලයක සිර දඬුවමක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය
අගතියට පත් දරුවාගේ පාර්ශ්වයට රුපියල්
ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය.
මෙසේ වරදකාරිය වූයේ කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සේවය කළ ලලනි රම්‍යා ද සිල්වා (55) නමැති ගුරුවරීයකි. වසර 2011 ක් වූ ජූලි මස 09 දින හෝ ඊට ආසන්න දිනකදී පන්ති කාමරයකදී මෙම ගුරුවරිය එවකට වයස අවුරුදු 18ට අඩු වූ අයි.එම්. චතුර ශ්‍රී ලාලිත නමැති දරුවාට අතින් පහරදී වරදක් සිදු කළැයි කුරුණෑගල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබිණ.
හිසට හා මුහුණට ලබාදුන් පහරදීම් නිසා ජීවිතයට අනතුරක් වන මට්ටමේ බරපතල තත්වයන් පෙන්නුම් කල බව වෛද්‍ය වාර්තා මගින් කරුනු දක්වා තිබුණි.
රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවූ අතර පැමිණිල්ල වෙනුවෙන් නිතිඥ සුදත් විජේවික්‍රම මහතා පෙනී සිටියේය. දරුවාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්ඒ.සී.පී. චමින්ද මහතාද සාක්ෂි සඳහා කැඳවා තිබිණි.
දෙපාර්ශ්වය  විසින් ඉදිරිපත් කර තිබු සාක්ෂි සහ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය අදාළ ගුරුවරිය වැරැදිකාරිය බව තීන්දුව දුන්නාය. කුරුණෑගල පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් 19705 ජයතිලක මහතා පෙනී සිටියේය.

මීට වසර 5 කට පෙර 2014 පාසල් දැරියකට විදුහල්පතිවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිදුවීමක් නිසා ඇය ඒ ගැන ලියුමක් ලියා තබා සියදිවිනසාගැනීමේ සිද්ධියද වාර්තාවූයේ මේ කියන කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේදීය.

තොරතුරු -රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ