දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස්වලටත් පොලිසියේ නිර්දේශ මත ගිනි අවි බලපත්‍ර මින් ඉදිරියට නිකුත් කිරිම අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

නුසුදුසු නන්නාදුනන පුද්ගලයන්ට පොලිසියේ නිර්දේශ මත ගිනි අවි බලපත්‍ර පන්දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලවල දි අවිධිමත් අයුරින් නිකුත් කර තිබෙන බවට හෙළිදර වූ තොරතුරු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා‍ පැවැසීය.

මේ අනුව ගිනි අවි බලපත්‍ර රජයේ බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන පමණක් මින් ඉදිරියට නිකුත් කිරිමට තීරණය කරන්  ඇතැයි කී ආරක්ෂක ලේකම්වරයා පසුගිය කාලයේදී අවිධිමත්  අයුරින් නිකුත්කෙරුණු ගිනි අවි බලපත්‍රවලට අදාළ ලියකියවිලි
පවා මේ වන විට අස්ථානගතවී තිබෙන බව ද ප්‍රකාශ කළේය.

මෙම ගිනි අවි කාගේ අතට පත් වූයේ දැයි සොයාබලාගෙන  යන බවත් ගිනි අවිවලින් කොටසක් පාතාල කල්ලි වැනි මිනීමරු කල්ලි අතට යන්නට ඇතැයි සැකකරන බවත් හේමසිරි  ප්‍රනාන්දු මහතා කීය.

පිස්තෝල. රිවෝල්වර හා රයිෆල් වෙනුවෙන් අවිධිමත්  අයුරින් මෙලෙස බලපත්‍ර නිකුත් කර තිබූ බව කී ආරක්ෂක  ලේකම්වරයා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන්  නවීන දත්ත පද්ධතියක් මේ දිනවල සකස් කරගෙන යන බව ද  සඳහන් කළේය.

අවිධිමත් අයුරින් මෙලෙස ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම  පිළිබඳව ජනාධිපතිවරයා දැඩි කනස්සල්ලෙන් පසුවන හෙයින් එම ගිනි අවි සොයා ගැනීමට කටයුතු කරන්නැයි ඔහු තමාට උපදෙස් දී ඇතැයි ද ප්‍රනාන්දු මහතා පැවැසීය.

 නඩු තිබෙන දේශපාලනඥයන්ට ද ගිනි අවි බලපත්‍ර දීමේ හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තමා ඒ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බවත් ආරක්ෂක ලේකම්වරයා කීවේය.