කිසියම් අපරාධයකට යොදා ගත් බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩුසවිකළ මෝටර් රථයක් පාදුක්ක පහළ හන්දිය ප්‍රදේශය ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී පෙරේරා (12දා) සවස සොයා ගැනීමට හැකිවූ බව පාදුක්ක පොලිසිය පවසයි.

දින දෙකක් පුරා අයිතිකරුවකු නොමැති මෝටර් රථයක් පාදුක්ක පහළ හන්දිය ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබෙන බවට පොලිසියට ලද දුරකථන ඇමැතුමකට අනුව පාදුක්ක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම මෝටර් රථය පරීක්ෂාකිරීමේදී එම රථයෙහි සවිකර තිබූ අංක ලොරි රථයකට අයත් බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

පසුව පොලිස් ඇඟිලි සටහන් අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ මෝටර් රථයේ තිබෙන ඇඟිලි සටහන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වුවද එවැනි කිසිදු ඇඟිලි සටහනක් එම මෝටර් රථයේ සටහන්ව නොතිබූ බවද පොලිසිය පවසයි.

පසුව එම මෝටර් රථයේ සවි කර තිබූ අංක තහඩුවට අනුව සිදු කළ සොයා බැලීමේදී අදාළ අංකයට අයත් ලොරි රථය ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සොරකම් කළ එකක් බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමෙන් පසු මෙලෙස මහමඟ අතහැර ගොස් ඇති බවට සැක කරන බැවින් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පාදුක්ක පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.

අතහැර දමා ගොස් තිබූ මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
පනාගොඩ - චම්පා ජීවන්ති