යේ උදෑසන ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළබඳ නවතම වාර්තා ලැබෙමින් පවතී.
මාකඳුරේ මදුෂ් ලංකාවෙන් පළාගොස් ඇත්තේ මීට වසර 4 කට පෙර 2015 දීය. ඔහු ලංකාවේ නොසිටියත් ඩුබායි සිට සියලුම ආකාරයේ පාතාල ජාවාරම් ඝාතන මංකොල්ල මෙහෙයවනු ලැබූ අතර කිසිදු බියකින් චකිතයකින් තොරව
ඒවා සිදු කරන්නට ඔහුට දේශපාලන හිතවතුන්ගේ ආධාරද ලැබී තිබුණි.
මෙලෙස හැසිරෙන මදුෂ් පසුගිය වසර දෙක තුන තුළ ලංකාවේ ප්‍රධාන ධාරාවේ මත්කුඩු ජාවාරම වෙත එල්ල කළ බලපෑම විශාලය.
ඔහු ආරක්ෂක අංශවලට පවා අභියෝග කරමින් සිය කටයුතු නිදහසේ එහි සිට කළේය.
ඩුබායිහි ඔහු සිටින තැන කිසිවෙකු දැන සිටියේ නැත. ඔහු අල්ලාගැනීමේ උවමනාව බොහෝ අයට තිබුන නමුත් එය කරන්නට දුෂ්කර කටයුත්තක් වී තිබුණි. ඩුබායි පොලිසියේ සහායෙන් ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කර තිබූ නමුත් මාකඳුරේ මදුෂ් එරට ආරක්ෂක අංශ වලටද වැලිගසා සැඟවී සිටියේය.


ඊයේ ඔහුව හෝටලයක් තුළදී මෙලෙස කොටු කිරීම දීර්ඝ කාලීන පොලිස් සැලසුමක් සඵලවීමකි.මාකඳුරේ මධුෂ් මේ කාලයේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට (වැලිකඩ ප්‍රහාරයේදී මියගිය කළු තුෂාරගේ බිරිය) සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා ඩුබායි රාජ්‍යයේ තරු හයේ සුපිරි හෝටලයක් වෙන් කරගෙන ඇති බවටත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණි.මෙම සාදයට පැමිණෙන ලෙස ලංකාවෙන් කිහිප දෙනෙකුටද ඇරයුම් ලැබී ඇති බව පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණි.
කොළඹ කෙසෙල්වත්තේ පාතාල නායකයින් මධුෂ්ට පණ ඇරලා සහාය දෙන අයයි. මෑතක සිදු කළ මත්කුඩු වැටළීමකදී අත්අඩංගුවට පත් කෙසෙල්වත්තේ සගයෙකුගෙන් මේ තොරතුර පොලිසියට ලැබී තිබුණි.

මධුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී ඇති බවත් සාදයේ විනෝද කටයුතු සඳහා දින කිහිපයකට ඉහතදී ලද ඇරැයුම් මත අමල් පෙරේරා, නදීමාල් පෙරේරා, රයන් වැන් රෝයන් (ලයනල් සර්) යන අය ඩුබායි බලා යනු ඇති බවත් ඒ අනුව පොලිසියට තොරතුරු අනාවරණය කරගන්නට හැකි විය. මෙම සාදයට යන අනෙක් පිරිස අතර පසුගිය කාලයේ රියැලිටි වේදිකාවේ ගීත ගායනා කළ ප්‍රකට කිහිප දෙනෙකු සිටින බවටද ආරංචි ලැබිණි.

අමල් පෙරේරා මත්කුඩු සම්බන්ධ චෝදනාවකට මින් කලකට ඉහත ලක්වූ අයෙකි. ඔහුගේ සොයුරු සොහාන් පෙරේරාද මීට වසර කිහිපයකට පෙර මත්කුඩු චෝදනා මත සිරගතවද සිටියේය. අමල් වඩාත් ප්‍රකට වූයේ සුදු කැස්බෑවෙකු විකිණීමේ  සිද්ධියක් නිසාය. ඔහුට මදුෂ් සමග සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසියට විහ්වාසදායි තොරතුරු ලැබී තිබුණි.

පොලිසිය මෙම ආරංචි අනුව ඉතා කෙටි කලක් තුළ සැලසුමක් සකස් කරන ලදි. ඒ ඩුබායි පොලිසියේ සහාය ඇතිව එරටදී වැටළිමක් කරන්නටය. වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් යන කලාකරුවන් යන තැන් විමසා ඒ පසුපස ලුහුබැඳීම බව තේරුම් ගෙන මෙම සැලසුම අනුව උපායන් සකස් විය.
ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තුකරුවන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි විය.
කල් ඇතිව කථිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවී තිබේ.

ඩුබායිහි අමල් නැවතුණ හෝටලයේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධවන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලය වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම්ව සිටින ලදි. පෙබරවාරි 4 වනදා රාත්‍රී කාලයේ මෙම සාදය පවත්වන බව ඒ අනුව වාර්තාවී තිබුණි.

සාදයට හෝටලයේ  125 ක් පමණ රැස්වන ශාලාවක් වෙන්කර ඇති බවත් හෝටලය වෙන්කිරීමේ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කර තිබුනේ ඩුබායිහි සිටින මදුෂ්ගේ සොහොයුරාගේ නමක් බවත් ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබේ.

ඒ අනුව වැටලීම් කරන්නට නම් සාදය සඳහා සියලු පිරිස් පැමිණෙනතුරු සිටීම වැදගත් වියහැකි බව ලංකාවේ කණ්ඩායමේ මතයවී තිබේ. එයට හේතුව
පැමිණෙන සියල්ලන් වැදගත්වන බැවිනි.
 එම තොරතුරු අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ සාදය පැවතෙමින් තිබෙන අතර 5 වනදා පාන්දරට වන්නට මෙම වැටලීම සිදුකර තිබේ.

හෝටලයේ පිටත දැඩි ආරක්ෂාවක් සලසා ශාලාව වෙත වැටළීම් කන්ඩායම ඇතුළුව ඇත්තේ ශාලාවේ දොරවල් අගුළු ලාගෙනය. දැඩි ලෙස පාතාල ක්‍රියාකාරකම් සිදුකරන පිරිසක් බැවින් ඔවුන් එසේ අල්ලගතයුතු බව ලංකාවේ කණ්ඩායමේ උපදෙස වී තිබේ.

එසේ ඇතුළුවූ ඩුබායි පොලිස් නිලධාරීන්ට නිරායුදව සිටි 25 ක් හසුකරගත හැකිවිය.සැකකරුවන් 25 දෙනා කාමරයක් වෙත ගෙනගොස් බිම වාඩිවෙන්න යයි දන්වා එකිනෙකාගේ තොරතුරු වෙන වෙනම පරීක්ෂාකර තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මාකඳුරේ මධුෂ්ගේ සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා බලපත්‍ර බවද අනාවරණය වී ඇත.

මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී කොකේන් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් තොගයක් සොයා ගෙන ඇති බවද වාර්තා විය. සිය සගයන්ට විනෝදවීම සඳහා හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැගෙන ආ බව මදුෂ් පවසා තිබේ.
කොකේන් සමග විනෝදවීම එරට නීතිය අනුව මරණීය දන්ඩනය පවා ලද හැකි වරදකි. ඒ අනුව ලංකාවේ වරෙන්තුකරුවන් වීමට අමතරව එරට නීතිය අනුවද වරදවලට යටත්වූ පිරිසක් බවට ඔවුන් පත්වූ අතර සියල්ලන් අත්අඩංගුවට පත්විය. ඒ අයගෙන් එරට ආරක්‍ෂක අංශ ඊයේ වන විට ප්‍රශ්න කරමින් තිබිණි.

මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත ඊයේ (5දා) උපදෙස් ලබාදී ඇත. මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.


සිද්ධිය සම්බන්ධ පෙර ලිපි