ඉපලෝගම පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව කියා ගන්නා පුද්ගලයකු ඇතුළු පිරිසක් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන නිල නොලත් පොලීසීයක් හා අධිකරණයක්  පවත්වා ගෙන යමින් අවනීතිය ක්‍රියාත්මක කර පාතාල ක්‍රියාකාරකම් කරන කල්ලියක් පිළිබඳව පොලිසියේ විශේෂ
කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබිණි. ඔවුන්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් නොමැති නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවක් ඇති බව එහි නිලධාරියකු අනාවරණය කළේය.

සියලුම නඩු හබ ආරවුල්  විසදීමට භාර ගන්නා ව්‍යාපාරිකයකු බව කියා ගන්නා පුද්ගලයකු සමඟ යුද හමුදාවේ හා යුද හමුදා විශේෂ බළකායන්වලින් පලාවිත් සිටින කඩවරයා, කළුයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පිරිසක් කල්ලියේ සිටි බවත් ඔවුන් විවිධ වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතයට මනා දැනුමක් ඇති පුද්ගලයන් බව සැකකළ හැකි බවත් නිලධාරියා අනාවරණය කළේය.
අනුරාධපුර හා තලාව ප්‍රදේශයේ වූ රුපියල් කෝටි ගණනක සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලදී සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයකු ගත කරන සුබෝපහි ජීවිතය සම්බන්ධයෙන් සැක සිතී ඔවුන්ගේ පවුලට සම්බන්ධ ඥාතීන් කිහිපදෙනකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමවලදී පොලිස් නිලධාරියාට තොරතුරු අනාවරණය වී තිබිණි.

මුදල් ආරවුල්,පවුල් ආරවුල්, දේපළ ආරවුල්, අනියම් සබඳතා ඇතුළු විවිධ ආරවුල් සම්බන්ධයෙන් නිල නොලත් පොලිසිය හා අධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන පුද්ගලයා මුදල් ලබාගෙන එම ගැටලු කඩිනමින් විසඳන බව අනාවරණය වී තිබිණි. මෙම පිරිස හමුවට එන පුද්ගලයන් ඔවුන්ගේ ආරවුල් විසඳා දෙන ලෙස ඉල්ලා සිටින අතර පැමිණිල්ලේ සේවය අනුව රුපියල් මිලියන දෙකක් වැනි විශාල මුදලක් අයකර දින කිහිපයක් ඇතුළත ගැටලු සම්පුර්ණයෙන්ම විසදා දෙන බව එම කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි.

පුද්ගලයන් බිය ගන්වමින් අවනීතිය ක්‍රියාත්මක කරන කල්ලිය අතිවිශාල මුදලක් උපයාගෙන සුඛෝපභෝගී දිවියක් ගෙවන බව ඔවුහු අනාවරණය කළහ. ක‍ල්ලියේ ප්‍රධානියා පසුගියදා කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රුපියල් කෝටි ගණනක මුදල් සොරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරි ඇති අතර ඔවුන් සන්තකයේ යහමින් මුදල් ගැවසීම  පිළිබඳව සැක සිතී ඥාතීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සොරකම්වල නිරත නොවන බවත් විවිධ වර්ගයේ පැමිණිලි හගිස්සා පැමිණිල්ලට සාධාරණය ඉටු වූ පසුව විශාල වශයෙන් මුදල් ලබා ගන්නා බව ඥාතියකු අනාවරණය කර තිබිණි.

මීට මාස කිහිපයකට ඉහතදී මීගමුව ප්‍රදේශයේ රුපියල්  කෝටි දෙකක මුදල් ගනුදෙනුවක් කල්ලිය විසදා තිබේ.  එහිදී කල්ලී ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලැබී තිබෙන බවත් මේ ආකාරයට පවුල් ආරවුල්, අනියම් සබඳතා, විවිධ මුදල් ආරවුල්වලට සම්බන්ධ පුද්ගලයන් දරුණු අන්දමින් බිය ගන්වා කඩිනම් සමථයන් ලබාදෙන බව පොලිස් නිලධාරියා අනාවරණය කරගෙන තිබිණි.

-මහේෂ් විජේසුරිය-